උසාවි යන ගමන් නිල ඇඳුමින් ස්පා ගිය සැරයන් මාට්ටු

උසාවි යන ගමන් නිල ඇඳුමින් ස්පා ගිය සැරයන් මාට්ටු

පොලිස් නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් ස්ථානය වෙත රැගෙන විත් නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස මුදා හැර ඇත්තේ, දොම්පෙ පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබූ ලේඛන දොම්පෙ පොලිසියේ වෙනත් නිලධාරීවරයෙකු යක්කල පොලිසියට ගෙන්වා යොමු කිරීමට කටයුතු කර තිබේ.

යක්කල පොලිස් වසමේ නුවර පාරේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා එහි රැඳී සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

අනතුරුව එම නිලධාරියා එම අවස්ථාවේ පැලඳ සිටි අංක එකේ නිල ඇඳුම නඩු බඩු කුවිතාන්සි පොතට ඇතුළත් කර එම නිලධාරියාගේ ප්‍රකාශ ලබාගෙන මුදා හැරීමට කටයුතු කර තිබේ.

සැරයන්වරයා ගම්පහ මහාධිකරණයට ලේඛන ඉදිරිපත් කිරීමට යන අතරතුර දී සම්බාහන මධ්‍යස්ථානයට සේවා ලබා ගැනීමට ගොස් ඇති බවට තොරතුරු දැන ගැනීමට ඇත.

යක්කල පොලිසිය මඟින් පරීක්ෂණ පවත්වන අතර සැරයන්වරයා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.