අතිශය විරල දෙමුහුන් සූර්යග්‍රහණයක් අද

අතිශය විරල දෙමුහුන් සූර්යග්‍රහණයක් අද

අද (20) දින ඉතා විරල ගණයේ සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීමයි.

සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් දකින අතර අනෙක් කොටස්වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇති.

අවස්ථා දෙකේදීම චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන අතර අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටෙන ප්‍රදේශවලට සූර්ය ග්‍රහණයක් ඇතිවනවා.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අද ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04ට ආරම්භ වී දහවල් 12.29ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතයි.

සූර්යග්‍රහණය, වළයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වළයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් පමණක් පෘථිවියේ ඇති අතර අවාසනාවන්ත ලෙස මෙම ස්ථාන දෙක ද සාගරේ මැද පිහිටා ඇති බව ද කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළා.

මේ හේතුවෙන් එම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දිස්වන්නේ නැහැ.

කෙසේ වෙතත්, බටහිර ඔස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින අයට සූර්යග්‍රහණය නැරඹිය හැකි අතර මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුළු කොටසකට පමණයි.

දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභ වන අතර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10 කට පමණ පෙර එනම් 2013 නොවැම්බර් 3 වන දින සිදු වූ අතර මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය 2031 නොවැම්බර් මාසයේදී සිදුවනු ඇති.

මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවෙන නමුත් නාසා වෙබ් අඩවි ඔස්සේ සජීව විකාශනය අපට නැරඹිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.