ගිනි අවියක් පත්තු වී දැරියක් රෝහලට

ගිනි අවියක් පත්තු වී දැරියක් රෝහලට

නිවසේ කාමරයක සඟවා තිබූ ගිනි අවියක් බිමට වැටී ස්වයංක්‍රියව ක්‍රියාත්මක වීමෙන් (29) සවස සිදුවූ වෙඩි වැදීමකින් සත් හැවිරිදි දැරියක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පරික්ෂණ පවත්වන මකුළුගස්වැව පොලිසිය සදහන් කරයි.

මෙසේ වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මකුළුගස්වැව, දේවහූව ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු හත් හැවිරිදි වියේ පාසල් සිසුවියක් බවත්, අදාළ දැරිය සිය නිවසේ කාමරයක් අස්කරමින් සිටියදී මේසයක් මත තබා තිබූ නීති විරෝධි බල පත්‍ර රහිත මෙරට නිෂ්පාදිත කොටන වර්ගයේ ගිනි අවිය බිමට වැටීමත් සමගම ක්‍රියාත්මකවීමෙන් දැරියගේ දණහිසෙන් පහළ කොටසට වෙඩි වැදී තුවාල සිදුව ඇතැයි පරික්ෂණ පවත්වන මකුළුගස්වැව පොලිසිය සදහන් කරයි.

මෙම නීති විරෝධි ගිනි අවිය රාත්‍රි කාලයේ කුඹුරු වෙත පැමිණෙන වල් අලි පලවා හැරීම සදහා භාවිත කර ඇති බවත්, අදාල ගිනි අවිය වෙඩි ප්‍රහාරයට ලක්වූ දැරියගේ මවගේ බාල සහෝදරයකුට අයත් එකක් බවත්, ඔහු විසින් සිය නැගණියගේ නිවසේ කාමරයක් තුළ වෙඩි බෙහෙත්ද කොටා සකස්කොට හොර රහසේ සගවා තිබියදී එකවරම දැරියගේ අතින් බිමට වැටීමෙන් මෙම වෙඩි වැදීම සිදුව ඇති බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිස් හත්හැවිරිදි වියේ පසුවූ සැකකාර දැරිවියගේ මාමා මකුළුගස්වැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියිමිතව තිබේ.

මකුළුගස්වැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.එස්.හේරත් මහතාගේ උපදෙස් මත විමර්ශණ ආරම්භ කර තිබුණි.