බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (19) රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා 38 හැවිරිදි වියේ පසුවන කොළඹ 14, නාගලගම්වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මීට දින කිහිපයකට ඉහත දී ඔහු මහල් නිවාස සංකීර්ණයේ තාවකාලික පදිංචිය සඳහා පැමිණ තිබේ.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු මීට දින කිහිපයකට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ සිටි පුද්ගලයෙකු බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

තවද ඔහු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයෙකු ලෙස ලේඛනගතව ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.