ශානිට සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

ශානිට සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් පත් වූ විගස කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ තමන්ව ස්ථාන මාරු කොට ඉන් අනතුරුව වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා විසින් කරනු ලැබූ තීරණයට එරෙහිව එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දුන්නේය.

ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබූ එම නඩුකරය අද විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල පෙත්සම යළි අප්‍රේල් මස 30 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදිනට පෙර සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ශානි අබේසේකරගේ නීතිඥවරුන්ට නියෝගයක් කළහ.

2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහායකයා ලෙස ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කළ බව පෙත්සම්කරු පවසයි. ඉන්පසුව සිය වැඩ තහනම් කිරීමට කටයුතු කෙරුණු බවත් ඔහු චෝදනා කර සිටී.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ශානි අබේසේකර ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටි.