ෂාෆ්ටර්ගේ මරණය ගැන තීරණාත්මක අවසන් නිගමනය අද

ෂාෆ්ටර්ගේ මරණය ගැන තීරණාත්මක අවසන් නිගමනය අද

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන විද්‍යාත්මක විශ්ලේෂණයක් කිරීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව ඒ සම්බන්ධයෙන් වූ අවසන් නිගමනය අද (ජූලි 24) ගැනීමට නියමිත බව වාර්තා වේ.

ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම අධිකරණ විශේෂඥවරුන් පස් දෙනාගෙන් සමන්විත මෙම විශේෂඥ මණ්ඩලය ඒ සඳහා වූ සාකච්ඡාව ඊයේ (ජූලි 23) පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේදී ආරම්භ කළ අතර මෙතෙක් මෙම මරණය සම්බන්ධව ලැබුණු විද්‍යාත්මක දත්ත ගොනු සහ පර්යේෂණ වාර්තා සමාලෝචනය කරමින් මෙම විශ්ලේෂණාත්මක නිගමනයට එළඹීමට නියමිත ය.

මෙම පංච පුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව කළ ඉල්ලීමකට අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේදී කෙරුණු දිනේෂ් ෂාෆ්ටර්ගේ දෙවැනි වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙතෙක් ලබා ගත් දත්තවලට එපිටින් ඇති විද්‍යාත්මක සාධක පිළිබඳ සොයා බැලීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටත් විශ්වවිද්‍යාල මට්ටමේ සහ ඉහළ ප්‍රමිතිගත රසායනාගාර වෙතත් යොමු කර ඇති තොරතුරු පරීක්ෂණ වාර්තා සමාලෝචනය කිරීමක් ද මේ දෙදින තුළ සිදු කෙරෙනු ඇත.

අනතුරුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සිය දිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යන්න පිළිබඳ අවසන් මතය මෙම පංච පුද්ගල කමිටුව අධිකරණය වෙත ලබා දෙනු ඇත.

අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ඉහළම ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වූ ප්‍රමාණික විද්වතුන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස පසුගිය පෙබරවාරි 17 වන දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය කළ නියෝගයක් ප්‍රකාරව මෙම කමිටුව පත් කෙරුණේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් ද, සිය දිවිනසා ගැනීමක් ද යන්න සම්බන්ධව බරපතළ ගැටලුකාරී තත්ත්වයක් අධිකරණය ඉදිරියේ මතු වී තිබුණු බැවින් ඒ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයකින් තීරණයක් ලබා ගැනීමට ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍යාපීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය යූ.සී.ඩී. පෙරේරා, මහනුවර ජාතික රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. ශිව සුබ්‍රමනියම්, ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ආර්. රුවන්පුර අධිකරණය විසින් නම් කෙරුණු මෙම පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයෝ වෙති.

Share This