කොන්දේසි පහකට යටත්ව පෞද්ගලිකරණයකට එකඟයි – ගම්මන්පිල

කොන්දේසි පහකට යටත්ව පෞද්ගලිකරණයකට එකඟයි – ගම්මන්පිල

කොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, අද දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

“මම ඇමතිවරයෙකු ලෙස උපදේශකයෙකු ලෙස සභාපතිවරයෙකු ලෙස රාජ්‍ය ආයතන සමග කටයුතු කර තිබෙනවා. අපි තිත්ත ඇත්ත කතා කරමු. ඇමතිවරයාගේ සිට කම්කරුවා දක්වා හැමෝම බලන්නේ තමන්ට ආයතනයෙන් ලබා ගත හැකි දේ මිස ආයතනය දියුණු කරන්න නොවේ. නමුත් පෞද්ගලික අයිතිකරුවන් සෑම විටම දකින්නේ තමන්ගේ දියුණුවයි ආයතනයේ දියුණුවයි කියන්නේ එකක් මිස දෙකක් නොවේ කියලා.

දේශපාලන බලපෑම නිසා රාජ්‍ය ව්‍යවසායන්ට බඳවා ගන්නේ පාක්ෂිකයා මිස දක්ෂයා නොවේ. ඉතින් පෞද්ගලික ව්‍යවසායේ ඉන්නා දක්ෂයා සමග පාක්ෂිකයාට තරග කරන්න බෑ තමයි. ඒ වගේම පෞද්ගලික ව්‍යාපාර මිල දී ගන්නේ අඩුම මිලට තිබෙන ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයි. රාජ්‍ය ව්‍යවසාය මිල දී ගන්නේ වැඩිම කොමිස් මුදල ගෙවන සැපයුම්කරුවාගේ භාණ්ඩයි. සෑම රාජ්‍ය ව්‍යවසායකටම මේ කරුණු අදාල නොවුණත් සාතිශය බහුතරයක් සම්බන්ධයෙන් මේ කරුණු අදාලයි. ඒ නිසා කොන්දේසි පහකට යටත්ව අපි පෞද්ගලිකරණයකට එකඟයි.

පෞද්ගලිකරණය සිදුවුණු 1989-1993 ප්‍රේමදාස යුගය 1994-2001 චන්ද්‍රිකා යුගය සහ 2001-2004 රනිල් යුගය යන යුග තුනේදීම එල්ල වුණු පොදු චෝදනාවක් තමයි පෞද්ගලිකරණ ක්‍රියාවලිය අතිශයින්ම වංචා සහගතයි කියන එක. දැවැන්ත කොමිස් කුට්ටි අරන් රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකුණුවා කියන එක. ඒ නිසා පෞද්ගලිකරණය අතිශයින්ම විනිවිදභාවයකින් සිදුවිය යුතුයි.

පෞද්ගලිකරණය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් පිහිටුවිය යුතුයි. පෞද්ගලිකරණයට පෙර ආයතනයේ සැබෑ වටිනාකම පිලිබඳ තක්සේරු වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම පෞද්ගලිකරණයෙන් පසු සාධාරණව සහ විනිවිද භාවයෙන් පෞද්ගලිකරණ ක්‍රියාවලිය සිදුවුණු බවට විගණන වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. මේ කමිටුවේ අනුමැතියකින් තොරව කිසිම ආයතනයක් පෞද්ගලිකරණය කිරීමට රජයට නොහැකි විය යුතුයි.

පෞද්ගලිකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව සූරා කන වෙළඳපොලක් බිහි වීම වලක්වන්න සැබෑ නියාමනයක් තිබිය යුතුයි.

මව්බිමේ සතුරන් අතට මෙම ආයතන පත් වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පෞද්ගලිකරණය සිදු නොවිය යුතුයි.

පෞද්ගලික අංශයේ කේවල් කිරීම් වැලැක්වීමට සහ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට අවශ්‍ය කරන ආයතන පෞද්ගලිකරණය නොකල යුතු නමුත් නව ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දී උපරිම තරගකාරි වෙළඳපොලකට අවස්ථාව සැලසිය යුතුයි.

උපාය මාර්ගිකව වැදගත් ආයතන රාජය සතුව තබා ගත යුතුයි.

දැනටමත් පෞද්ගලිකරණයට තෝරා ගෙන තිබෙන ආයතන විකුණන්නේ කාටදැයි කියන එකත් කලින්ම තීරණය කරලා ඉවරයි කියලා විවිධ කටකතා පැතිරෙනවා. පෞද්ගලිකරණය සඳහා ආණ්ඩුව ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් යුගවල මෙන් පරණ පාරේ ගියොත් කොමිස් කුට්ටි සඳහා රාජ්‍ය දේපල තුට්ටු දෙකට විකුණන්න හැදුවොත් “රාජ්‍ය සම්පත් සුරකිමු” කියන සටන් පාඨයට යලි පණ ඇවිල්ලා මේ ආයතනවල බර ඊලඟ පරම්පරාවටත් පැවරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.”