කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කරයි

කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කරයි

කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට බාධාවක් වී තිබීම හේතුවෙන් එම ගස ඉවත් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය වෙත තමන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ තීරණය ගත් බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

අද (11) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

“පඬු කරඳ ගහ ගැන මම පූර්ණ වශයෙන් දැනුවත්. මධ්‍යම අධිවේගී මාර්ගය ඉතා විශාල ව්‍යාපෘතියක්. 2019දී රුපියල් කෝටියකින් කරන්න තිබුණු ව්‍යාපෘතිය අද කරන්න කෝටි 03ක් වත් අඩුම ගාණේ ඕනේ.”

“අවාසනාවකට පඬු කරඳ ගහක් අරගෙන.. මේක මෙතනින් ඉවත් කරන්න දෙන්නේ නැහැ. අවුරුදු එකසිය ගාණක් පරණයි කියාගෙන උද්ඝෝෂණ කරලා.. වෙනස් විදියේ සිතියකම් ඇන්ඳා.

මේ ගහ ඉතිරි කරලා ව්‍යාපෘතිය වෙනස් කළොත් රුපියල් බිලියන 15ක් පාඩු වෙනවා.”

“මේ ගැන මම අධ්‍යනයක් කළා. ඒ වාර්තා මට ලැබුණා. මේ ව්‍යාපාතිය අවට අවුරුදු 40ට වඩා වැඩි පඬු කරඳ ගස් 15ක් තිබෙනවා. උස අඩි 12යි 15යි අතර පඬු කරඳ ගස් 25ක් තිබෙනවා. ඕනේ නම් පෙන්වන්නම්.”

“මේ එක ගහ වෙනුවට පඬු කරඳ ගස් 200ක් වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. මේ කරුණු ටික මම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ ගස කැපීම සඳහා අනුමැතියක් ලබාදෙන්න කියලා. ගහ කපන්න අනුමැතිය දුන්නා. ඒ අනුව කැබිනට් අනුමැතියෙන් තමයි ගහ ඉවත් කරලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්.”

Share This