සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට

පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී සහබ් සහ සාගර් ශ්‍රීජෝගේන්ද්‍ර නමැති දෙදෙනෙකි.

ඊයේ (15) සවස ගුජරාට් ප්‍රාන්තයේ භූජ් විහාරයක සැඟව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

සොරාගත් යතුරුපැදියකින් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය ඉරිදා අලුයම 5.00ට පමණ මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් තිබුණා.

පොලිස් ආරංචි මාර්ග වලට අනුව මෙම සැකකරුවන් දෙදෙනාම කුප්‍රකට ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.

බිෂ්නෝයි මේ වන විට සංගීතවේදී මූස් වාලා සහ රාජ්පුත් නායක සහ කර්නි සේනා ප්‍රධානී සුක්දේව් සිං ගෝගමේඩි ඇතුළු ඉහළ පුද්ගල ඝාතන කිහිපයකට තිහාර් බන්ධනාගාර ගතකර සිටිනවා.

ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයක ඝාතන සිද්ධීන් වලට චෝදනා එල්ලවී සිටින කුප්‍රකට බිෂ්නෝයි කල්ලිය විසින් මීට පෙර සල්මන් හට තර්ජනය කර තිබුණි.

සල්මන් ඛාන්ගේ නිවසින් පිටත සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව, ලෝරන්ස් බිෂ්නෝයිගේ සහෝදරයා වන අන්මෝල් බිෂ්නෝයි සමාජ මාධ්‍ය සටහනකින් වගකීම භාරගෙන, එය “පෙරදසුනක්” ලෙස විස්තර කර සල්මන් ඛාන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබෙනවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ පසු සල්මන් ඛාන්ගේ ආරක්ෂක කණ්ඩායමට තවත් පිරිසක් එක් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහුට නිවසින් පිටතට යාමට පෙර මුම්බායි පොලිසියට දන්වන ලෙස ද දන්වා ඇති අතර, අත්‍යවශ්‍යම කාරණාවකට හැර නිවසින් පිටතට නොයන ලෙසට ද සල්මන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Share This