ඩලස්ගේ හතක් සජිත්ට

ඩලස්ගේ හතක් සජිත්ට

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හත් දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට මේ වන විට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වූයේ 2022 වසරේදී බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපති ධුරයට පත් වූයේ නම් අගමැතිවරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් හෙතෙම පවසා සිටියේය. ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් වූවා නම් සජිත් ප්‍රේමදාස මහතා පුමුඛ කණ්ඩායම් සමග ආණ්ඩු කිරීමට තීරණය කර තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

එදා සිට දිගටම සමගි ජනබලවේගය සමග හා අනෙකුත් කණ්ඩායම් සමග එකට එකතු වී පොදු සන්ධානයක් සකස් කිරීමට සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය. වර්තමානය වන විට ආණ්ඩුවට පක්ෂපාතීව තිබෙන්නේ 20% ක ඡන්ද ප්‍රතිශතයක් බවත්, විපක්ෂයේ කණ්ඩායම්වලට 80% ක ඡන්ද ප්‍රතිශතයක් තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහෙත් වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වී නොමැති බවත් හෙතෙම පවසා සිටියේය. මේ නිසා සමගි ජනබලවේගයට නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු දැනට සහාය ලබා දීමට තීරණය කර තිබෙන බවත්, තවත් කිහිප දෙනෙකු එම තීරණයට පැමිණීම සඳහා කාලය ඉල්ලා තිබෙන බවත්, මේ අනුව ඉතිරි පිරිස්ද ඉදිරියෙහිදී සමගි ජනබලවේගයට සහය දක්වනු ඇතැයි සිතන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙවැනි සන්ධාන මීට පෙර මැතිවරණවලදීත් සකස් වී තිබෙන බවත්, මේ ආකාරයට විපක්ෂය තුළ ගොඩ නැගෙන සන්ධානය කඩා දැමීමට පවා යම් යම් පිරිස් කටයුතු කරමින් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

Share This