මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් – සාගරගේ නව පත්වීමට විපක්ෂයේ විරෝධය

මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් – සාගරගේ නව පත්වීමට විපක්ෂයේ විරෝධය

මූල්‍ය බංකොලොත්භාවට හේතු පරික්ෂා කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (6) පෙරවරුවේ ඇතිවිය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රට බංකොලොත්භාවය සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි යෝජනා කළේ සමගි ජන බලවේගය බවයි.

රට බංකොලොත් උනේ කොහොමද කියලා හොයන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිගැනීමට බැරි බව කිරිඇල්ල මහතා පැවසීය.

මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් බවද ඒ නිසා බංකොලොත් වීම ගැන හොයන තේරීම් කාරක සභාවේ සභාපති ධුරය සඳහා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පත් කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්නැ කියා ස්ථාවර නියෝග වල තිබෙන්නෙත් ඒ නිසා බවද කිරිඇල්ල මහතා පැවසීය.