රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් මරුට

රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් මරුට

රුසියාවේ මොස්කව් අගනුවර නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ “Crocus City” නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, ක්‍රොකස් සිටි රංග ශාලාවේ සිටි තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි, රුසියානු ආරක්ෂක අංශ සඳහන් කළේ.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් ආයුධ සන්නද්ධ පුද්ගලයින් සිවු දෙනකු විසින් එම ප්‍රහාරය සිදුකර ඇති අතර ප්‍රහාරයත් සමග ප්‍රසංග ශාලාවෙන් ඉවත් වීමට උත්සාහ කළ සිවිල් වැසියන්ට ද ඔවුන් එහිදී වෙඩි තබා තිබේ.

ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර අනතුරට ලක්වූවන් මුදවා ගැනීමද අසීරු වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම, ප්‍රහාරය සිදුවූ ස්ථානයට අවම වශයෙන් ගිලන්රථ 50ක් සමග 70කගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ත්‍රස්ත පිරිස් ප්‍රහාරය සඳහා, දැවැන්ත ගින්නක් ඇති කරමින් පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිත කර ඇති බව රුසියානු ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

එම ස්ථානයේ සිදුවූ වෙඩි තැබීම් දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් පවතින අතර කෙසේ වෙතත් රුසියානු ජාතික ආරක්ෂකයින් තවමත් තුවක්කුකරුවන් සොයමින් සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර අමෙරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ තත්වය පිළිබඳව වැඩිදුර සොයා බැලීමට කටයුතු කරන බවත් යුක්‍රේනය මෙම ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

Share This