හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් අභාවප්‍රාප්ත වෙයි

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක්වූද හිටපු මුදල් අමාත්‍යවරයකුවූද ප්‍රකට ආර්ථික විශේෂඥයකුවූද රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ ( 27) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 99 වැනි වියේ පසුවිය.

මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස 1977 සිට 1988 දක්වා කටයුතු කළ රොනිද මැල් මහතා මෙරටට නිදහස් වෙළෙඳ ආර්ථිකය හඳුන්වා දීමේ පුරෝගාමියාද විය.

ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් යුගයක මුල් තැන ගැනීමට මැල් මහතා සමත් විය.

ජනාධිපති ජයවර්ධන මහතාගේ ජේෂ්ඨ උපදේශකවරයකු වූ හෙතෙම සම්භාවනීය සිවිල් සේවයේ හිටපු නිලධාරියෙකි.

සිවිල් සේවා නිලධාරියකු ලෙස ඔහු අමාත්‍යාංශ ගණනාවකද ඉහළ තනතුරු හෙබවීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුලින්ම දේශපාලනයට පිවිසි රොනී ද මැල් මහතා මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර ආසනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මුලින්ම තේරී පත්විය.

ඔහු 2004 වර්ෂය දක්වා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

මැල් මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් අයවැය 11ක් ඉදිරිපත් කර ඇති අතර ඔහු වැඩිම අයවැය ප්‍රමාණයක් ඉදිරිපත් කළ මෙරට එකම මුදල් අමාත්‍යවරයාය.

වික්ටෝරියා,රන්දෙනිගල කොත්මලේ,වරාය, මහා මාර්ග,නිවාස සහ නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යාපෘති සඳහා මුදල් සොයා දීමට හෙතෙම මුල් වී කටයුතු කළේය.

සිවිල් සේවයට සම්බන්ධ වී විවිධ තනතුරු දරා විශ්‍රාම යෑමෙන් අනතුරුව ඔහු දේශපාලනයට පිවිසියේය.

ඔහු 1965 වර්ෂයේදී බිබිල මැතිවරණ කොට්ඨාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදී එක්සත් ජාති පක්ෂ නියෝජිතයා වූ ධර්මදාස බණ්ඩා මහතාට පරාජය විය. අනතුරුව ඔහු 1970 මහ මැතිවරණයේදී දෙවුන්දර ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඉන්පසු ඔහු 1977 මහ මැතිවරණයේදී දෙවුන්දර ආසනය ජය ගත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි. එම වර්ෂයේදීම ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරිණ.

මෙරට 1983 වර්ෂයේ ජුලි මාසයේ ඇතිවූ කලබල මැඩ පැවැත්වීමටද ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය.

රොනීද මෙල් මහතා දියණියන් තිදෙනෙකුගේ පියෙකි. සුනාලිනී තාරා සහ රේණුකා එම දියණියෝ වෙති.

හෙතෙම ශ්‍රීමත් ලියූ ප්‍රනාන්දු මහතාගේ දියණියක වන මල්ලිකාද මෙල් මහත්මිය සමග විවාහ වී සිටි අතර ඇයද කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළාය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රොනී ද මැල් මහතා ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. රොනීද මල් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.