විශ්‍රාමික ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබය සමඟ එක්වෙයි

විශ්‍රාමික ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබය සමඟ එක්වෙයි

විශ්‍රාමික ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුව දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇතිකිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර ඇත.

වසර 29ක යුද හමුදා සේවය කාලය තුළ ඔහු 2006-2009 කාලය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්‍යයක්ෂවරයා ලෙස කටයුතු කර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කර ඔවුන් උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල කටයුතු කිරීමට යෙදවීම, යාපනය කිලිනොච්චි මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයා ලෙස සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 600ක විශේෂ කජු ව්‍යාපෘතියේ අධීක්ෂණ ලෙස ද කටයුතු කර තිබේ.

එසේ ම ජාතික අවශ්‍යතාවකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගෙන විවිධ ව්‍යාපෘති සඳහා යොදවා ගැනීම ද සිදු කරන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දුගේ මූලිකත්වයෙනි.

යුද හමුදාවේ සේවය කරන කාලය තුළ ඔහු පෙන්වූ දක්ෂතා හේතුවෙන් රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් ද්විත්වයෙන් දෙවරක් පිදුම් ලැබූ අතර, ඊට අමතරව දේශපුත්‍ර සම්මානය, රිවිරැස මෙහෙයුම් පදක්කම, පුර්ණ භූමි පදක්කම ආදී සම්මාන හා පදක්කම් රාශියකින් ද ඔහු පිදුම් ලබා තිබේ.