රටම ආයෝජන කලාපයක් කරනවා – ජනපති

රටම ආයෝජන කලාපයක් කරනවා – ජනපති

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් සිදු කර ඉදිරි වසර 15-20 ඇතුලත රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයන වැඩපිළිවෙළ අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.

දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Share This