පළාත් රැසකට අදත් තද වැසි

පළාත් රැසකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (28) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share This