සිවිල් ආරක්ෂක භටයන්ගේ රාජකාරී ගැන සොයා බැලීමක්

සිවිල් ආරක්ෂක භටයන්ගේ රාජකාරී ගැන සොයා බැලීමක්

ආගමික, රාජ්‍ය සහ වෙනත් ආයතනවලට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක සාමාජිකයන් එම රාජකාරීන්ට බැහැර ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇද්ද යන්න පිළිබඳ වාර්තාවක් කැඳවීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ආගමික ස්ථාන නඩත්තුව, කෘෂිකාර්මික කටයුතු, අලිවැට නඩත්තු කිරීම් සහ විවිධ ආයතනවල රාජකාරී සදහා සිවිල් ආරක්ෂක සාමාජිකයන් සම්බන්ධ කර ඇත.

මෙම රාජකාරීවලට පරිබාහිර ක්‍රියාවන්ට ඔවුන් සම්බන්ධ වී ඇද්ද යන්න පිළිබද සොයා බලා විශේෂ වාර්තාවක් ලබාදෙන ලෙස ආරක්ෂක රාජ‍්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

එසේ අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝග මාලාව සමාලෝචනය කර යාවත්කාලීන කරන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත.

තමන් අනුයුක්ත වී ඇති රාජකාරීයෙන් පරිබාහිර කටයුතුවල නියුතු වන සිවිල් ආරක්ෂක භටයන්ගේ සේවය විනය පරීක්ෂණයකින් අනතුරුව අත්හිටුවන ලෙසට ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.