බන්ධනාගාරගත රැඳවූවන්ට අමුත්තන් හමුවෙන්න දින දෙකක්

බන්ධනාගාරගත රැඳවූවන්ට අමුත්තන් හමුවෙන්න දින දෙකක්

බන්ධනාගාරගත රැඳවූවන්ට, මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (23) සහ අනිද්දා (24) අමුත්තන් හමුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවස්ථාව ලබා දී ඇත. ‍

ඒ අනුව, මේ දෙදින තුළ රැඳවුවන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් එක් රැඳවුවකුට ප්‍රමාණවත්වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු මෙරට සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බව බන්ධනාගාර කොමාසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ගාමිණි බී.දිසානායක මහතා පවසයි.

එමෙන්ම කොළඹ බන්ධනාගාර වෙසක් කලාපයද හෙට (23) සහ අනිද්දා (24) කොළඹ බන්ධනාගාර මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර හෙට (23) රාත්‍රී 7.00ට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කෙරේ.

බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සංකල්පයක් මත බන්ධනාගාර බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම වෙසක් කලාපය සියලු බන්ධනාගාර ආයතනයන් නියෝජනයෙන් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශණයක්, බන්ධනාගාර පුහුණු පාසලේ නිළධාරීනගේ බැති ගී ප්‍රසංගයක් හා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිළධාරීන්ගේ දායකත්වයෙන් කරනු ලබන බත් දන්සලකින්ද සමන්විතය.