රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කෝටි 200 ක් ලාබ ලබයි

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කෝටි 200 ක් ලාබ ලබයි

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වී වසර එකහමාරක් වැනි ඉතා කෙටි කලක් තුළ රුපියල් මිලියන දෙදහසක ලාභයක් උපයන ලාභදායී මට්ටමට වර්ධනය කිරීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එම ආයතනය සේවක ප්‍රසාද දීමනා ගෙවමින් කාරක ප්‍රාග්ධනය තමන් විසින්ම ගොඩනගාගන්නා මට්ටමට වර්තමානයේ වර්ධනය වී ඇති බවත් ඔහු මෙහි දී සඳහන් කළේය.

පාඩු ලබන ආයතනයක් ලෙස හඳුනා ගනිමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ලේඛනයට ඇතුළත් කර තිබූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා කෙටි කාලයක් තුළ ලාභ ලබන තත්වයට පත් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඉහළ කළමනාකාරීත්වයේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කරමින් වගකීම් නිසියාකාරව පැවරීම තුළින් ඉතා පහසුවෙන් මේ තත්වය අත්පත් කරගත හැකි වූ බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

වෙනත් අමාත්‍යාංශ යටතේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ සියලු‍ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඒකාබද්ධ කර පවරා ගැනීම රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ මෙම සාර්ථකත්වයට ප්‍රධාන රුකුලක් වූ බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා එමගින් පාසල් පෙළ පොත් මුද්‍රණය කර නිසි කලට දරුවන් අතට පත් කීරීමේ ගැටලු‍ නිරාකරණය කරගැනීමටත් ඒවා මුද්‍රණයට භාර දී අවශ්‍ය සහයෝගය ලබා දීමට මැදිහත් වීම තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මෙවැනි සාධනීය මට්ටමක් දක්වා වර්ධනය කිරීමටත් හැකි වූ බව ද ප්‍රකාශ කළේය.

ඒ අනුව, මේ ප්‍රවණාතව තවදුරටත් වර්ධනය කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නව තරගකාරී ආයෝජන වෙත ප්‍රවිෂ්ඨ විය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.