පොසොන් උත්සවයට ආණ්ඩුවේ තඹ දොයිතුවක් වත් එපා – ලක්ෂ 50කට වැඩියෙන් දැනටමත් ලැබිලා

පොසොන් උත්සවයට ආණ්ඩුවේ තඹ දොයිතුවක් වත් එපා – ලක්ෂ 50කට වැඩියෙන් දැනටමත් ලැබිලා

මෙවර මිහින්තලේ පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම හේතුවෙන් මේ වන විට වන විට දෙස් විදෙස්, බෞද්ධ අන්‍යාගමික, විවිධ ජාතිකයන් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් පරිත්‍යාග කර ඇති බවත්, රජයෙන් වෙන් කළ ලක්ෂ 31ක මුදලෙන්, තඹ දොයිතුවක් වත් අවශ්‍ය නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.

පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහැර, සති පිරිත් දේශනාව ඇතුළු ආගමික වැඩ සටහන් සඳහා ඇස්තමේන්තු ගත මුදල ලක්ෂ 225ක් වන බවත්, ඉතුරු මුදල් ලක්ෂ 150කට වැඩි මුදල කෙසේ හො සොයා ගෙන හැකි උපරිම අයුරින් මිහින්තලාව ආලෝකමත් කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසූහ.

මූල්‍ය කළමනාකරණය පිළිබඳව සිඟාලෝවාද සූත්‍රය මගින් බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කර ඇති බවත්, ආර්ථික ඝාතකයන් ලෙස හඳුන්වන පුද්ගලයන් විසින් මූල්‍ය කළමනාකරණය සංඝරත්නයට ඉගැන්විය යුතු නැතැයි ද උන්වහන්සේ සිහිපත් කළහ.

“ඊයේ දිනයේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, විවිධ ජාතිකයන්, විවිධ ආගමිකයන් මිහින්තලාවේ පොසොන් උත්සවය සඳහා හැකි පමණින් තම දායකත්වය ලබා දී තිබෙනවා, ඒ අතර ආදිවාසි ජනතාවද සිටිනවා, පිරිසක් දෙවුන්දර තුඩුවේ සිට චාරිකාවකින් පැමිණෙන්න සූදානම් වෙලා සිටිනවා, කොළඹ කැස්බෑවේ පදිංචිකරුවෙකු වන ආනන්ද මහතා ඔහුගේ පදනමින් චාරිකාවකින් පැමිණ පරිත්‍යාගයක් කිරීමට සූදානම්.

විශේෂයෙන් මීගමුව හලාවත කතෝලික ප්‍රජාව දායකත්වය දක්වනවා, අපේ මේ මහා සංඝරත්නය අරහත් දජය පැළඳ ගෙන ඉන්නේ, දානය වළඳන්නේ, මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කළ නිසයි,

ආණ්ඩුව මාධ්‍ය නිවේදන නිකුත් කරනවා බෙලිඅත්තේ සිට අනුරාධපුරයට දුම්රිය සේවා දාලා තියෙනවා කියලා, අමතර බස් සේවාවන් රැසක් ක්‍රියාත්මක වනවා කියලා. ඇයි මේ ආණ්ඩුව රටේ මිනිස්සු අන්දන්නේ එම ජනතාව එන කොට මිහින්තලේ රථගාල් දහයක් තියෙනවා, පොදු වැසිකිළි 100ක් තියෙනවා, ලියාපදිංචි දන්සල් 30කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා,ශ්‍රී ලංකා ත්‍රිවිද හමුවේ පොසොන් පහන් කූඩු දර්ශනයක් තිබෙනවා, ශ්‍රී ලංකා පොලිසිය 1000ක් මුර සංචාරයෙහි යෙදෙනවා.

මාර්ග බාධක රැසක් තිබෙනවා. කෝ මේවට විදුලිය, එදා පොසොන් කමිටු රැස්වීමේදී විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරිවරයා කිව්වේ විදුලිය ලබා දෙන්න විදිහක් නැහැ කියලයි. එහෙනම් ඇයි මේ එන්න කියලා, ප්‍රචාරය යවලා, රටේ ජනතාව අපහසුතාවයට පත් කරන්නේ.

විදුලිය ආලෝකය නොමැති වීම නිසා අනුරාධපුරයේ හෝ මිහින්තලාවේ කිසියම් හෝ අනතුරක් වුණොත් සම්පූර්ණයෙන් එහි වගකීම ආණ්ඩුව බාර ගත යුතුයි, පහසුකම් නොදී බස්රථවලින් දුම්රියෙන් මගින් ගෙන්වා ගෙන ඒවගෙනුත් සල්ලි හම්බ කරන්න හදන්නේ.මීට පස්සෙ උත්සවය රාජ්‍ය උත්සවයක් බවට ගැසට් කරන්න එපා පහසුකම් ලබා දෙන්න නොහැකිනම් රාජ්‍ය උත්සව යනුවෙන් සඳහන් කරන්න එපා “