පොලිසියේ පහර දීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කරලා

පොලිසියේ පහර දීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කරලා

මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් අත් පිටු පසට කර බැඳ දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ වෘෂණ කෝෂයක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදුවූ බවට ඔහුගේ මව චෝදනා කරයි.

පොලීසිය පවසන්නේ තරුණයාට පහර නොදුන් අතර ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු කළහකාරී ලෙස හැසිරුණු බවය.

අනුරාධපුර, මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු සිය මිතුරෙකු සමග ලොරි රථයකින් මැදවච්චිය නගරය බලා ගොස් තිබුණේ පසුගිය 07 වනදාය.

එම අවස්ථාවේ ලොරිය පිටුපසින් හඹා ආ මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු එම ලොරි රථය නවතා සිය පුතුට හා මිතුරාට පහරදුන් බව තරුණයාගේ මව පවසන්නීය.

ඇය චෝදනා කරන්නේ පහරකෑමෙන් සිදුවූ බරපතළ තුවාල නිසා සිය පුතුගේ වෘෂණ කෝෂයක් ද සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවය.

පහරකෑ තරුණයා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔහු පවසන්නේ ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක්ද තමාට සහ මිතුරාට බරපතළ ලෙස පහරදුන් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය සඳහන් කළේ තරුණයින් දෙදෙනා ගමන් ගත් ලොරි රථය නවත්වන ලෙසට අණ කළ ද ඔවුන් අඛණ්ඩව ඉදිරියට ධාවනය කිරීම නිසා හඹාගොස් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවය.

ඔවුන් සන්තකයේ නීතිවිරෝධී මත්පැන් වර්ගයක් තිබී ඒවා එම අවස්ථාවේ රථයෙන් ඉවතට විසිකර ඇති බවද පොලීසිය පවසයි.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා බීමතින් සිට ඇති අතර ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බවද පොලීසිය පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ අදාළ තරුණයාගේ වම් වෘෂණ කෝෂය සැත්කමකින් ඉවත් කළ බවය.

Share This