පොලිස් පෙම්වතියගේ උඩුකය නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යයට දැමූ පීසී අත්අඩංගුවට

පොලිස් පෙම්වතියගේ උඩුකය නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යයට දැමූ පීසී අත්අඩංගුවට

සිය පොලිස් පෙම්වතිය සමඟ වීඩියෝ දුරකතන සංවාදයක් යන අතරතුරදී ඇගේ ළැම බැලීමට ආශාවක් ඇතැයි සඳහන් කරමින් ඇයට පෙරැත්ත කර ළැම ප්‍රදේශය පෙන්වාගෙන එය පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නකු බව ද ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමේදී අනාවරණය වී ඇත.

ඇය විසින් සිය පොලිස් පෙම්වතාට ළැම ප්‍රදේශය පෙන්වා ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සැරසී සිටියදීය. ඊට අමතරව දෙදෙනා නතිවම හමුවූ අවස්ථාවලදී හෝටල්වලදී එකට සිටි අවස්ථා ද වීඩියෝගත කර ඒවා ද මෙම නිලධාරියා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව සඳහන්ය.

ඇය නිල ඇඳුමින් සිටියදී ළැම පෙන්වීම සිදු වන්නේ 2022 වසරේ අගෝස්තු 12 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී බව සඳහන්ය. එකල ඇය සේවයේ නිරතව සිට ඇත්තේ මිල්ලනිය පොලිස් ස්ථානයට අනුයුක්තවය. ඇය පවසන්නේ මිල්ලනිය පොලිසියේ කාන්තා භට නිවාසයේදී එම සිදු වීම වූ බවය.

අනතුරුව දෙදෙනා විටින් විට හමුවී ඇති බවත් ඒ හැම දෙයක්ම මෙම නිලධාරියා විසින් රහසිගතව වීඩියෝගත කරගෙන සිට ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම නිලධාරියාගේ ඇතැම් හැසිරීම් ගැන කලකිරී නිලධාරිනිය විසින් ඔහුව අතහැර දැමීමෙන් පසු මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙන බව කියැවේ.

තමාගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව මෙම නිලධාරිනිය දැන ගන්නේ පසුගිය 06 වැනිදාය. ඇය මේ ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ද 07 වැනිදා කර තිබේ.

ඒ අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට මෙම නිලධාරිනිය දිවුලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත සේවයේ නිරතව සිට ඇත. එබැවින් මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැන විනය පරීක්ෂණයක් ද කර තිබේ.

ඇය විසින් පොලිස් නිල ඇඳුමින් ළැම පෙන්වීම මුල්කරගෙන ඇගේ වැඩ තහනම් කිරීමට මෙහිදී මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පියවර ගෙන ඇත.

ගයාන් කුමාර වීරසිංහ