දියර පොහොර ගෙන්වීමේදී කෝටි 10ක පාඩුවක්

දියර පොහොර ගෙන්වීමේදී කෝටි 10ක පාඩුවක්

සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට, විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වනවා.

සහනාධාර ලෙස බෙදා හැරීම සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සූදානම් කර තිබූ පොහොර මෙට්‍රික්ටොන් 896ක් ගොවීන්ට බෙදා හැරීමට නොහැකි ලෙස හානියට පත්වීම හේතුවෙන් රජයට රුපියල් පන්කෝටි තිස්අට ලක්ෂයක මුදලක පාඩුවක් සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන්.

ජාතික විගණන කාර්යාලය පවසන්නේ එම පොහොර මේ අයුරින් හානිවී ඇත්තේ, ඒවා නිසි කළමනාකරණයෙන් යුක්තව බෙදාහැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් බවයි.

රුපියල් කෝටි 04කට වැඩි වටිනා පොහොර මෙට්‍රික්ටොන් 671.47ක් 2019 වර්ෂයේදීත් රුපියල් එක්කෝටි
තිස්පන් ලක්ෂයක් වටිනා පොහොර මෙට්‍රික්ටොන් 225.44ක් 2020 වර්ෂයේදීත් මෙලෙස හානියට පත්ව තිබූ බව එම විගණන වාර්තාවේ සඳහන්.

2017 වර්ෂයේ අප්‍රේල් මස 17 වැනිදා ලක්පොහොර සමාගම සහ විදේශීය සැපයුම්කාර සමාගමක් අතර ඇතිවූ ගිවිසුම ප්‍රකාරව සපයන ලද දියර පොහොරවලින් රුපියල් කෝටි 08කට ආසන්න වටිනා, කල් ඉකුත්වූ පොහොර ලීටර් 109,408ක ප්‍රමාණයක්, 2021 වර්ෂයේ මාර්තු මාසය වනවිටත් හුණුපිටිය ප්‍රධාන ගබඩාවේ ගබඩා කර තිබූ බව විගණන වාර්තාව සඳහන් කරනවා.

පිරිවැය අඩු බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් තොරව, දිවයිනේ විවිධ ප්‍රදේශවල ගබඩා 46ක් පවත්වාගෙන ගොස්, වැටුප් පරිපාලන, මෙහෙයුම් සහ ප්‍රවාහන වියදම් අත්‍යවශ්‍ය නොවන ලෙස ඉහළ නැංවීම හේතුවෙන්, සමාගම අඛණ්ඩව මෙහෙයුම් පාඩු ලබා තිබූ බවද සඳහන්.

එමෙන්ම සීමාසහිත ලංකා පොහොර සමාගම, අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුකූල නොවනසේ රුපියල් දෙකෝටි දෙලක්ෂයකට වැඩි වටිනා දිරිදීමනා 2020 වර්ෂයේදී ගෙවා ඇතැයිද ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ එම විගණන වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Share This