වායු රික්තකයකට හසු වූ ගුවන් යානයේ මගියෙක් මරුට – 71කට තුවාල

වායු රික්තකයකට හසු වූ ගුවන් යානයේ මගියෙක් මරුට – 71කට තුවාල

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව තායිලන්තයේ බැංකොක් අගනුවරට හදිසි ගොඩබෑමක් කිරීමට එම ගුවන් යානයට සිදු වී තිබේ.

ගුවන් යානයේ සිටි අය මුහුණ දුන් එම මාරාන්තික අත්දැකීම ගැන අතිශයින්ම කණගාටුවට පත්වන බවයි සිංගප්පූරු ගුවන් සේවයේ සභපති වූ Goh Choon Phong විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

විපතට පත් වූ අයගේ පවුලේ අයට සිය ශෝකය ප්‍රකාශ කළ ඔහු, විපතට පත් මගීන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හැකි සෑම සහයක්ම ලබා දෙන බවත් පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මගීන් 79 ක් සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් තවමත් බැංකොක් හි සිටින අතර ඔවුන් තුවාල සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතිරි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැගත් සහන ගුවන් යානයක් අද (22) අලුයම සිංගප්පූරුවට ළඟා වුණා.

මගීන් 211ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 18 දෙනෙකු සමඟ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹි එම ගුවන් යානය පැය 10 කට පමණ පසු වායු රික්තකයට හසුවීම හේතුවෙන් විනාඩි 3 ක් තුළ අඩි 6000 ක් පහළට ඇද වැටී ඇති බව පැවසේ.

73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන Geoff Kitchen ගුවන් ගමන අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This