පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර පහයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර පහයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර අතරින් ඉදිරියෙන්ම ඇති ප්‍රහාරයක් වන ‘පාස්කු ඉරුදින දින’ ත්‍රස්ත ප්‍රහාරයට අද ට (21) වසර 5 ක් සම්පූර්ණ වේ.

අන්තවාදී ආගමික කල්ලියක් කොළඹ, මීගමුව සහ මඩකළපුවේ කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පන්තියේ හෝටල් කීපයක 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේ එකවර බෝම්බ පුපුරුවා හැරීමෙන් පුද්ගලයන් 273 මරණයට පත්ව 500 කට අධික සංඛ්‍යාවක් පූර්ණ හෝ අර්ධ හානීන්ට පත්වූ බව නිල පිළිගැනීමයි.

එදිනට කතෝලික භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික දිනයක් වන ‘පාස්කු දින‘ යෙදී තිබීම නිසා පසු කළ බොහෝ දෙනා එම බෝම්බ ප්‍රහාර මාලාව ‘පාස්කු දින‘ ත්‍රස්ත ප්‍රහාරය ලෙස හැදින්වීය.

එදින පෙරවරු 8.45 ට පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ බව ආරක්‍ෂක අංශ පවසන අතර එම ප්‍රහාරයට ලක්ව දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වී සිටි සහ කොළඹ තරු පන්තියේ හෝටල්වල උදෑසන ආහාර ගනිමින් සිටි පවුල්පිටින් මරු වැළඳගත්තේය.

මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බ පිපිරීමන් එම ප්‍රදේශයේ ඇතැම් පවුල්වල සියලුම සාමාජිකයන් මරණයට පත්වීමෙන් තවමත් වසා ඇති නිවාස ඇති බව ද එහි ප්‍රදේශවාසීහූ පවසති.

ඇතැම්හූ එදින සිට තවමත් ඇඳ මත සිටින අතර ඇතැම් පවුල්වල සාමාජිකයෝ සිහිමද ගතින් පසුවෙති.

මෙම බෝම්බ ප්‍රහාර මාලාව මෙරට දේශපාලන සහ සමාජීය තත්වය උඩුයටිකුරු කළ සිද්ධියක් බවට පත්ව ඇති අතර එම ප්‍රහාරයට සත්‍ය වශයෙන්ම වගකිවයුත්තන් කවුරුන් ද යන්න තව දුරටත් අභිරසකි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අදාල ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඩුවම් දෙන ලෙස පසුගිය වසර පහක කාලය තුළ දැඩි අරගලයක නිරතව සිටිති.