පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී ඩයනා ගමගේට පහරදීමක්

පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී ඩයනා ගමගේට පහරදීමක්

පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී මන්ත්‍රීවරුන් පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ, සමගි ජන බලවේගයේ සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා විසින් තමාට පහරදී කාන්තා හිංසනයක් සිදු කළ බවයි.

පාර්ලිමේන්තු පුස්තකාලය ආසන්නයේදී මෙම පහරදීම සිදු වූ බවයි ඇය සඳහන් කළේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පහළ මාලයේ පුස්තකාලය අසල ඇති වූ ගුටි බැට හුවමාරුව හේතුවෙන් එහි දැඩි කලබලකාරි තත්වයක් ඇති වූ බවයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇතැයි සඳහන්.

ඒ අවස්ථාවේදී එම සිදුවීම මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති අතර එහිදී ඩයනා ගමගේ සහ සුජිත් සංජය පෙරේරා අතරද කිසියම් උද්වේගකර තත්ත්වයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ඇමතිනිය කියාසිටියේ, තමාට සිදු වූ හිංසනය සම්බන්ධයෙන් කතානායකවරයා පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

එමෙන්ම තමාට පහරදුන් මන්ත්‍රීවරයාට එරෙහිව තමා ද නීතිමය පියවර ගන්නා බව ඩයනා ගමගේ ප්‍රකාශ කළා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කාන්තාවන් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් පවතින බවටයි ඇය චෝදනා කළේ.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදහස් දක්වමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට කල් තබා මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසටයි.

මෙවැනි සිදුවීම් මීට පෙර පාර්ලිමේන්තුවේ සිදු වී නොමැති බැවින් මෙය බරපතල තත්ත්වයක් බවටයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ අනුව සභාව විනාඩි 10කට කල් තබනු ලැබුවා.