පාර්ලිමේන්තුවේ කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් දැනුවත් කෙරේ

පාර්ලිමේන්තුවේ කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ හැඳින්වීමක්” මැයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය මාර්තු 15 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ කටයුතු සහ ක්‍රියාපටිපාටි පිළිබඳව නීති විද්‍යාලයේ සිසුන් වෙත පුළුල් අවබෝධයක් ලබාදීම සඳහා එම වැඩසටහන සංවිධානය කර කෙරිණි.

පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් ටිකිරි කේ ජයතිලක, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා සහ සහකාර අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා යන මහත්වරු විසින් සිසුන් සමග විවෘත සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී පාර්ලිමේන්තුව සහ එහි ක්‍රියාවලිය පිළිබඳව ප්‍රශ්න කිරීමට සහ දැනුවත් වීමට සිසුන්ට අවස්ථාව සැලසුණි.

මෙම විවෘත සාකච්ඡාව මගින් පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග සහ නීති සම්පාදන ක්‍රියාවලිය වැනි පුළුල් ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරිණි.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් සඳහා පාර්ලිමේන්තුව සංකීර්ණයේ නැරඹුම් චාරිකාවක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.