ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

අර්බුධයේ මැදට පැන ගින්න නිවන්න කිසි කෙනෙකුට හැකි වුණේ නැතැයි ද තමා ගිනිගොඩ මැදට ගිහින් ගින්න නිවන්න පටන් ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

අද රටම ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳින බවද ජනාධිපතිවරයා කීය.

“මරණයක් සුසාන භූමියට ගෙනයන්න තෙල් ටිකක් ගහගන්න බැරිව හිටපු ජාතියක් අද විනෝද ගමන් යන්නට හැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.

අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ විසිහතරකට අස්වැසුම ලබාදෙනවා. පරාටේ නීතිය අත්හිටුවීමට අප පියවර ගත්තා. අපේ මූලික අරමුණ වුණේ බැංකු ශක්තිමත් කිරීම. පළමුවෙන්ම අප කළේ බැංකු ශක්තිමත් කිරීමයි.

පිටරට ඉන්න අයගෙන් ඩොලර් සීයක් අරගෙන රට දියුණු කරන්න සිතීම ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි අරගෙන ඉස්කෝලෙ දියුණු කරන්න හිතනවා වගේ වැඩක්.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, අද වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලුදෙනා පිළිගත්ත ද එසේ නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කරන බවය.

“ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්නට තිබුණත් ඒක ජනතාවට පෙන්නේ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා කියලාත් චෝදනා කරනවා. විදුලි බිල, ඉන්ධන ගාස්තු ඕනවාට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා මල නෙතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගේ බදු අයකර ගත යුත්තේ කියලා. හැබැයි අපි ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අපිව විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයින් අමතක කරන දෙයක් තියෙනවා. මල් තලමින් රොන් ගන්නා අවස්ථා ද තියෙනවා. මේක අපිට අපූරු පාඩමක්. සාමාන්‍ය තත්ත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දි එහෙම බෑ. එතනදි තත්ත්වය වෙනස්. අද අපිත් යන්නේ අතුරේ. පහුගිය කාලේ අපිට සිදුවුණේ ආර්ථික වැල්පාලම තරණය කරන්න. අපි එහෙම අනතුරුදායක තත්ත්වයකට පත්වුණේ ඇයි. ආර්ථිකය බංකොලොත් වුණේ ඇයි.”