ශ්‍රී ලංකා පැරා ජයග්‍රාහකයෝ දිවයිනට

ශ්‍රී ලංකා පැරා ජයග්‍රාහකයෝ දිවයිනට

මොරොක්කෝ රාජ්‍යයේ පැවති 04 වන ලෝක පැරා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද (01 )දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය මොරොක්කෝ රාජ්‍යයේ මරකාස් නුවර ඉකුත් 04/26 දින සිට 04/28 දින දක්වා ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී ජනනි ධනංජනා ටී.- 47 කාණ්ඩයේ තරග කරමින් මීටර් 100 ධාවන ඉසව්ව සදහා සහ සමිත දුලාන් ටී.- 44 කාණ්ඩය යටතේ තරග කරමින් හෙල්ල විසි කිරීම සදහා රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එසේම ප්‍රදීප් සෝමසිරි ටී.- 46 කාණ්ඩයේ මීටර් 1,500 ධාවන ඉසව්ව සදහා ද , අනිල් ජයලත් ටී.- 42 කාණ්ඩයේ මීටර් 100 ධාවන ඉසව්ව සදහා සහ ජනනි ධනංජනා ටී.47 කාණ්ඩය යටතේ දුර පැනීමේ ඉසව්ව සදහා ද රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම තරගාවලියේ දී බුද්ධික ඉන්ද්‍රපාළ ටී.- 42 කාණ්ඩය යටතේ පැවති මීටර් 100 ධාවන ඉසව්ව සදහා ද කුමුදු ප්‍රියංකා ටී.- 46 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්ව සදහා ද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මෙම ශ්‍රී ලංකා පැරා මළළ ක්‍රීඩා කණ්ඩායම මෙම වසර තුළ පැවැත්වීමට නියමිත ජපානයේ ටෝකියෝ නුවර පැරා ඔලිම්පික් ලෝක ශූරතා තරගාවලියට සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරගාවලිය සදහා ඉදිරිපත් වීමට නියමිත බව මෙම කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරු සජිත් ජයලාල් මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ඔවුන් කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් දෝහා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ධනංජය අළුදෙණිය මහතා ඇතුළු පිරිසක් ද , මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Share This