මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදය අද

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදය අද

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (23) සහ (24) හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මෙම සතියේදී පැවැත්වීමට පසුගිය සතියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත. ඒ අනුව, මෙම විවාදය අද සහ හෙට පැවැත්වේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලැසීම, තහනම් කාර්ය සඳහා මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා සහ ප්‍රකාශයට පත්කිරීම සඳහා විධි විධාන සැලැස්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඬ පැවැත්වීම යන කරුණු වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත ගෙන ඒම සිදු වේ.

එමෙන්ම අසත්‍ය (false) තර්ජනාත්මක (threatening) බියගන්වනසුලු (alarming) පීඩාකාරී (distressing) ප්‍රකාශ සන්නිවේදනය කිරීම මඟින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වා‍ගෙන යාමට අගතිගාමී වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීම වැළැක්වීම, කෙටුම්පත යටතේ වූ වැරදි සිදු කිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ කබාට් (bots) අවභාවිත කිරීම (misuse) හඳුනාගැනීම, වැළැක්වීම සහ එයට එරෙහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වා දීම, එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට ‍වෙනත් ආධාර ලබා දීම වැළැක්වීමත් මෙම පනත් කෙටුම්පතේ අරමුණු බව පනත් කෙටුම්පතෙහි සඳහන් වේ.

Share This