ඉන්දුනීසියාවේ දී ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරික ඕනේෂ් ගේ සිරුර මාස 8කට පසු මෙරටට ගෙන එයි

ඉන්දුනීසියාවේ දී ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරික ඕනේෂ් ගේ සිරුර මාස 8කට පසු මෙරටට ගෙන එයි

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටි සුපිරි හෝටලයක් තුළදී ඝාතනය කෙරුණු කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ඕනේෂ් සුබසිංහ මහතාගේ සිරුර එම ඝාතනයෙන් මාස අටකට පසු පෙරේදා (01) රාත්‍රියේ මෙරටට ගෙන එනු ලැබූ බව කටුනායක ගුවන්තොටුපල පොලීසිය පවසයි.

මෙරටට ගෙන එනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීර ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉන්දුනීසියාවේදී ද මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති බවත්පොලිසිය පවසයි.

මෙම ව්‍යාපාරිකයා මෙම වසරේ ජනවාරි මස 17 වන දින අවුරුදු 04 ක් වයසැති දුව, සිය බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරෙකු සමග ඉන්දුනීසියාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් තිබුණි.

මෙම ව්‍යාපාරිකයා එදින සිට සෑම දිනකම ශ්‍රී ලංකාවේ සිටින සිය සහෝදරිය වෙත දුරකථන ඇමතුම් ලබා දීම සිදු කර තිබේ.

එහෙත් 01/31 දින සිට මෙසේ දුරකථන ඇමතුම් ලබා දීම නැවතීම නිසා මෙම සොහොයුරිය ඔවුන් නැවතී සිටි හෝටලය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මෙම ව්‍යාපාරිකයා පිළිබඳව සොයා බලන ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ හෝටල් සේවකයින්, ඔවුන් නැවතී සිටි කාමරය තුළ මිය ගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයා ගෙන තිබේ.

මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ සහෝදරියක වන කොළඹ 7 විජේරාම මාවතේ පදිංචි අනෝෂි සුබසිංහ මහත්මිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මීගමුව කොට්ඨාසය බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Share This