රිය අනතුරකින් සංගීත ශිල්පියෙකු මරුට

රිය අනතුරකින් සංගීත ශිල්පියෙකු මරුට

අනුරාධපුර පාදෙණිය A 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී අද (08) සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කැකිරාව මාර්ගයේ, තලාව නගරයට ආසන්නව පදිංචිව සිටි ගෝවින්දගේ ඉශාන් නිමන්ත නැමති 23 හැවිරිදි සංගීත ශිල්පියකි.

අද අළුයම 5.15ට පමණ අනුරාධපුර දෙස සිට තලාව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මෙම තරුණයා තලාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී එම යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව තලාව පොලිසිය කියයි.

අධික වේගයෙන් පැමිණ ඇති මරණකරුට නින්ද යාම හේතුවෙන් යතුරු පැදිය පාලනයෙන් ගිලිහී ගොස් ගසේ වදින්නට ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කළේය.

මරණකරු තරුණ සේවා යොවුන් සංගීත කණ්ඩායමකට අනියුක්තව සංගීත ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බවද මෙහිදී පොලිසිය පැවසීය.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණි.

Share This