මුලතිව් සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි සහ එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් හමුවෙයි

මුලතිව් සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි සහ එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් හමුවෙයි

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනි වලේ ඊයේ (21) දෙවන දිනයේ කැණීම්වලදී මිනිස් ඇට සැකිළි දෙකක් කොටි සාමාජිකයින්ගේ නිල ඇදුම් වලට සමාන ඇදුම් හතරක් හා තවත් ද්‍රව්‍ය කීපයක් හමු වී තිබේ.

ඒ අනුව, මේ වන විට එම සමූහ මිනී වලෙන් හමු වූ සමස්ත මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 19 ක් දක්වා ඉහල ගොස් තිබේ.

මෙම සමූහ මිනී වලේ යට තවත් මිනිස් ඇට සැකිළි හා විවිධ ද්‍රව්‍ය ඇති බවට තහවුරු කරගත් විද්‍යාත්මක සාධක කීපයක් නිසා මේ මස 24 වෙනිදා කොක්කුතුඩුවායී සමූහ මිනී වළ හා ඒ අවට ප්‍රදේශය ස්කෑන් හා රේඩාර් පරීක්ෂාවකට ලක් කිරීමකට තීරණය කර ඇත.

ඒ සඳහා මුලතිව් අධිකරණයෙන්ද අවසරයක් ලැබී ඇති අතර එදිනට නිලධාරීන් රැසක් එම කටයුතු අධීක්ෂණය කිරීම පිණිස එම ප්‍රදේශයට කැඳවා තිබේ.

එම පරීක්ෂාවලින් තහවුරු කර ගැනීමට උත්සාහ කරණු ලබන්නේ සමූහ මිනී වළ කොපමණ දුරකට විහිදී ඇද්දැයි සොයා බැලීමත් එම වපසරිය තුළ මිනිස් ඇට සැකිළි හා වෙනත් ද්‍රව්‍ය කොතරම් ප්‍රමාණයක් ඇද්දැයි අනුමාන කිරීමත්ය.