විද්‍යුත් මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කළ යුතුයි – පාඨලී චම්පික රණවක

විද්‍යුත් මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කළ යුතුයි – පාඨලී චම්පික රණවක

විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට රථවාහන ආනයනය අත්හිටුවා වසර තුනක් ගත වී තිබේ. ඒ රටේ පවතින විදේශ විනිමය පිළිබඳ ගැටළුව නිසායි. ඉන්ධන මිල ද ක්‍රමයෙන් වැඩිවෙයි. එවැනි තත්ත්වයකදී පුනර්ජනනීය බල ශක්තිය වෙත යොමුවීම වැදගත් බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව, පෞද්ගලික භාවිතය සඳහා විද්‍යුත් මෝටර් රථ භාවිතයට පුද්ගලයන් යොමු කළ යුතුය.

පොදූ ප්‍රවාහන සේවා වෙනුවෙන් ද විද්‍යුත් රථවාහන කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

මෙම විද්‍යුත් රථ සැපයීම දේශීය ක්‍රියාවලියක් බවට පත් කිරීම අතිශය වැදගත් බව පොල්ගහවෙල මයික්‍රෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරමින් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

2010 දී තමා විදුලිබල අමාත්‍යවරයා ලෙස පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට ක්‍රියාකළ බව සිහිපත් කළ රණවක මහතා කියාසිටියේ, වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති ද ඊට සමගාමීව හඳුන්වාදුන් බවයි.

මේ වනවිට එම ක්‍රමවේදය ඔස්සේ දැනට ශ්‍රී ලංකාවෙහි උත්පාදනය කෙරෙන විදුලිය, මෙගාවොට් 700 ක් පමණ වෙයි. මෙහි ඉදිරි පියවරේදී, සූර්ය බලශක්තිය යොදාගෙන මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපනය කළ යුතුය.

කර්මාන්තශාලා සහ නිවාස වලට ද, සූර්ය බලශක්ති භාවිතය ව්‍යාප්ත කිරීමද කාලීන අවශ්‍යතාවක් බව රණවක මහතා පෙන්වා දෙයි.