කිරිපිටි මිල තීරණය කරන මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක කර නෑ

කිරිපිටි මිල තීරණය කරන මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක කර නෑ

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කෙරුණු මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක කර නැති බවත් ඒ හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබමින් කිරිපිටි අලෙවි කර ඇති බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු අනාවරණය වූයේ භාණ්ඩාගාරයේ සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරියකු පැවසුවේ මිල සූත්‍රයක් සෑදුවද භාණ්ඩාගාරයෙන් ඊට අනුමැතිය නොලැබුණු බවයි.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙහිදී පැවසුවේ කිරිපිටි සඳහා මිල සූත්‍රය 2018 වර්ෂයේදී සකස් කළේ තමා බවයි.

කිරිපිටිකාරයන්ට යට වෙලා තියෙනවා කියන එක අහන්න දෙයක් නෑනේ යැයිද හර්ෂද සිල්වා මහතා කීවේය.

වෙළඳ අමාත්‍යාංශය ලියවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඉතිහාසය පවා නොදන්නා බවත් මෙම ලියවිල්ල අනුමත කළ නොහැකි බවත් සභාපතිවරයා කීය.

Share This