ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවර මැයි දින සැමරුම් පවත්වන ස්ථාන

ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවර මැයි දින සැමරුම් පවත්වන ස්ථාන

ලෝක කම්කරු දිනය මෙවර අභිමානයෙන් සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට සංවිධාන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙවර මැයි දින පෙළපාලි හා රැළි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්තේදී පැවැත්වෙන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ සමගි ජනබලවේගයේ මැයි දින රැළි මෙවර කොටුව චැතම් වීදියේදී හා තලවාකැලේදී පැවැත්වීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මෙවර බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ”රට හදන විසඳුමට ජන බලය එක පෙළට” තේමා කර ගනිමින් ජාතික ජනබලවේගයේ මැයි දින රැළි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වෙනවා.

කොළඹ මැයි දින පෙළපාලිය සවස 2 .00ට බී. ආර්. සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර සවස 3.30 ට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට නියමිතයි.

යාපනයේ මැයි රැළිය උදේ 10.00ට නන්දයි සෙල්වා රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

ජාතික ජනබලවේගයේ මාතර මැයි පෙළපාලිය සවස 2.00ට රාහුල හංදියෙන් ආරම්භ වී සවස 3.30ට මාතර වෙරළ උද්‍යානයේදී රැළිය පැවැත්වීමට නියමිතයි.

අනුරාධපුර මැයි පෙළපාලිය සවස 2.00ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර සවස 3.30ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ජාතික ජනබලවේගය සඳහන් කළා.

Share This