මෙවර මැයි රැලි වලට ගිය වියදම

මෙවර මැයි රැලි වලට ගිය වියදම

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් මෙවර වැය කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

දේශපාලන පක්ෂ වැඩි මුදලක් මෙවර වැය කර ඇතැයි පැවසෙන්නේ මැයි රැලිවලට සෙනඟ රැගෙන ඒම සඳහා ප්‍රවාහන වියදම් වෙනුවෙනි.

උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි සංවිධාන කිරීමට මෙවර ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරීමට සිදුවූ බව දේශපාලන පක්ෂ නායකයෝ පවසති.

සෙසු මුදල් වැයවී ඇත්තේ වේදිකා සකස් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර ලබා ගැනීම සහ ආලෝක කරන කටයුතු,රැස්වීම් අවට ප්‍රදේශ සැරසිලි කිරීම, පාක්ෂිකයන්ට ආහාර පාන ලබා දීම යනාදී කටයුතු වෙනුවෙනි.

මැයි රැලි සහ පෙළපාළි සංවිධාන කිරීම සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ අරමුදල් වලින් වැඩිම බර පැනක් දරූ බව සඳහන් කරන පක්ෂ නායකයෝ ආසන සංවිධායකවරුන් සහ විවිධ ධානපතීන්ද මැයි රැලි සංවිධාන කිරීමට උදව් කළ බව ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ලෙන් සිල්වා මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුමට මෙවර වැඩිම මුදලක් වැය කිරීමට සිදුවූ බවයි.

ජාතික ජන බලවේගයේ මැයි දින රැස්වීම් දිස්ත්‍රික්ක හතරක පැවැත්වුණ හෙයින් වියදම එසේ ඉහළ ගිය බවද ඔහු සඳහන් කළේය.

වේදිකාව ශබ්ද විකාශන ආලෝක පද්ධතිය සුළු ප්‍රචාරණ කටයුතු කිහිපයකට පමණක් පක්ෂ මූලස්ථානය විසින් වියදම් දරන බවත් සෙසු වියදම් සියල්ල දිස්ත්‍රික්කවල සංවිධායකවරුන් ඒකාබද්ධ වී දරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මැයි රැලිය සඳහා අනුරාධපුර වැනි දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන බස් රථයකට රුපියල් එක් ලක්ෂ පනස් දාහක් වැනි ඉහළ මුදලක් ගෙවීමට සිදුවූ බව ආසන සංවිධායකවරු පවසති.

රට පුරා මැයි රැලි හතළිහක් පෙරේදා(1) පැවැත්වුණු අතර කොළඹ නගරයේ පැවැත්වුණු මැයි රැලි ගණන 14කි