මලාවි උප ජනාධිපති ගුවන් අනතුරින් මරුට

මලාවි උප ජනාධිපති ගුවන් අනතුරින් මරුට

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තවත් 8 දෙනෙකු ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් ගමන් කළ ගුවන් යානය චිකන්ගාවා කඳුවැටියේදී කඩා වැටී ඇති බවටයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

මලාවි යනු ගිනිකොණදිග අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. 51 හැවිරිදි උප ජනාධිපති චිලිමා සහ පිරිස රැගත් එම යානය, මලාවි රාජ්‍යයේ ලිලොංග්වේ අගනුවරින් පිටත් වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි ම්සුසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යෑමටය. එය මිනිත්තු 45 ක ගුවන් ගමනක් වූ බව පැවැසෙයි.

කෙසේ නමුත් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගතවෙද්දී, යානය රේඩර්වලින් තිරයෙන් අතුරුදන් වී තිබේ.

එසැණින් යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කර සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව මලාවි ජනාධිපති ලසරස් චක්වේරා පැවැසීය.

මලාවි ජනාධිපති ලසරස් චක්වේරා බහාමාස් සංචාරයකට සූදානම් වී සිටි නමුත් උප ජනාධිපතිවරයාට සිදුවුණු අකරතැබ්බ හේතුවෙන් එම ගමන අවලංගු කළ බව ද පැවසිණි.

යානය අනතුරට පත්වූයේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත්, ඒ ගැන විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවත් මලාවි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. යානයේ සුන්බුන් හමුවී ඇත්තේ වනාන්තර ප්‍රදේශයෙනි.

ඇතැම් මාධ්‍ය වාර්තා අනුව, මලාවි උප ජනාධිපතිවරයා ගමන් කර ඇත්තේ හමුදා ගුවන් යානයකින් නොව හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකිනි.