නයිට් ක්ලබ් නඩුවෙන් මාලක සිල්වා නිදහස්

නයිට් ක්ලබ් නඩුවෙන් මාලක සිල්වා නිදහස්

රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයකුට හා ඔහුගේ බිරිඳට පහරදී තුවාල සිදුකළේ යැයි චෝදනා ලැබූ හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන ඊයේ (14) නියෝග කළේය.

පැමිණිල්ලේ පළමු සාක්ෂිකාර විදේශිකයා නඩු විභාගය සඳහා දිගින් දිගටම අධිකරණයේ පෙනීනොසිටීම හා විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් පසුව නිදහස් කිරීමේ නියෝගය නිකුත් කළේය.

2014 වසරේ වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ කිසිම තැකීමක් හෝ අධිකරණයට ගරුකිරීමක් නොමැති බවත්, නඩුවේ සැකකරුවන් හයදෙනකු නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නිදහස් කර ඇති බවත්, මෙම නඩුව ගොනුකර ඇති පරමාර්ථය එයින් හැඟී යන බවත් විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු දක්වමින් පැවැසීය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමීන්ද්‍ර රොද්‍රිගු කරුණු දක්වමින් කියාසිටියේ විදේශිකයාට අදාළ සිතාසිය යවා පණිවුඩය ලබාදීමට තමන්ට නොහැකි වූ බැවින් තවත් දිනයක් දෙන ලෙසය.

පැමිණිල්ල වසර ගණනක් අධිකරණයට නොපැමිණ ඇති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

2014 ඔක්තෝබර් 31 වැනි දින බම්බලපිටිය රාත්‍රි සමාජ ශාලාවකදී නීතිවිරෝධී කල්ලියක සාමාජිකයන් වී ස්කොට්ලන්ත ජාතික ජෙම්ස් ප්‍රැන්සිස් කැසල්ලි සහ බිලින්දා මැකන්සි යන අයට පහරදී තුවාල සිදුකිරිම ඇතුළු චෝදනා පහක් යටතේ චෝදනා ගොනුකිරීම 2022 ජනවාරි මස සිදුකෙරිණි.