මහින්ද කහඳගම රිමාන්ඩ්

මහින්ද කහඳගම රිමාන්ඩ්

කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් මෙම සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් පැමිණිලිකරු අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව, මෙම සැකකරු අද (20) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ඒකක 07 වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මහනුවර පදිංචි ජයන්ත මුණවීර යන අය විසිනි.

කොළඹ වංචි විමර්ශන කාර්යාංශයේ ඒකක 07හි අධිකරණ අංශයේ උප පොලිස් පරීක්ෂක දිසානායක සහ පොලිස් සැරයන් (69043) ඉහළගෙදර යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කරුණු දැක්වූහ.

Share This