අක්ෂි කාච සැත්කම් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

අක්ෂි කාච සැත්කම් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ලබන නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය අක්ෂි කාච වෛද්‍ය සැපයීම් අංශය මගින් මෙරට රෝහල් සඳහා බෙදා හැර ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසීය.

එම තත්ත්වය තුළ අක්ෂි කාච වල හිඟයක් මෙරට රෝහල් පද්ධතිය තුළ නොමැති බවත් අවශ්‍ය සැත්කම් සාමාන්‍ය පරිදි මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂවරයා පැවැසූවේ “පසුගිය මැයි මාසයේ වෛද්‍ය සැපයීම් අංශය මගින් මාස 6 ක අවශ්‍යතාවය සඳහා අවශ්‍ය අක්ෂි කාච රෝහල් වෙත බෙදාහැරි බවයි.

දිවයින පුරා රෝහල් වල මාසයකට 10,000 ක පමණ කැට්රැක්ස් ශල්‍යකර්ම (cataracts surgery) සිදු කරන බවත්, වාර්ෂික අවශ්‍යතාවය ලක්ෂයක් වන බවත් හෙතෙම පැවසීය.

අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් සිටින සියලු මූලික රෝහල්වල සිට ප්‍රධාන රෝහල් දක්වා මැයි මාසයේදි මාස 06ක පමණ අවශ්‍යතාවය වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබාගෙන, වෛද්‍ය සැපයුම් අංශය මගින් එම රෝහල්වලට බෙදා හැර ඇත.

දැනටමත් නොවැම්බර් මාසය දක්වා මෙම රෝහල් වල අක්ෂිකාච ප්‍රමාණවත්ව තිබෙන බවත්, ඉදිරි මාස දෙකකට අවශ්‍ය ප්‍රමාණය වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබෙන බවත් පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුව හරහා මාස හයක අවශ්‍යතාවය දැනමත්ට ලැබී ඇති බවත් ඒවා රෝහල් වෙත දැනටමත් බෙදා හැර ඇති බවත් පැවසීය.

අක්ෂි කාච විශාල පරාසයක තිබෙන බවත් ශ්‍රී ලංකාව තුළ දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ 18.5 සිට 26 දක්වා පරාසයක කාච බවත් එම ප්‍රමාණයන්ගෙන් අක්ෂි කාච දැනට ඕනෑම රෝහලක ඇති බවත් කුමන හෝ රෝහලක අඩු පාඩුවක් සිදුවී තිබේ නම් වෛද්‍ය සැපයුම් අංශය මගින් ලබාගත හැකි බවත් පැවැසීය. ඒ අනුව දැනට අක්ෂි කාච හිඟයක් හේතුවෙන් කිසිදු රෝහලක අක්ෂි කාච සැත්කම් නැවතී නොමැති බව ඒ මහතා අවධාරණය කළේය.

Share This