රටගිය බිරිඳ හාම්පුතාත් එක්ක ආවාට සැමියා ගෙට ගිනි තියලා – සැමියාගේ පියා මරුට

රටගිය බිරිඳ හාම්පුතාත් එක්ක ආවාට සැමියා ගෙට ගිනි තියලා – සැමියාගේ පියා මරුට

බිබිල පොලිස් වසමට අයත් මඩකලපුව පාර වැලිපොතයාය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කුවේට් දේශයේ රැකියාවක නිරතව සිට මීට දින කිහිපයකට පමණ ඉහතදී හාම්පුතා සහ හාම්පුතාගේ රියදුරු සමඟ පැමිණීම නිසා බිරිඳ සහ සැමියා අතර ඇතිවූ විරසකයක් දුරදිගයාමෙන් සැමියා විසින් බිරිඳට, හාම්පුතාට සහ රියදුරුට පහරදී ඉකුත් (30) වෙනිදා නිවසට ගිනිතැබීම නිසා නිවසේ සිටි සැමියාගේ පියා මියයාමේ සිද්ධියක් පිළිබඳව බිබිල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අවුරුදු 40 පමණ වයසැති මෙම කාන්තාව කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරතව සිට 80 හැවිරිදි අබ්දුල් සේඩ් අලබල්ලයන් නැමති තම හාම්පුතා සහ රියදුරු වන කේ.කේ නාමල් යන අය සමඟ නිවසට පැමිණ ඇත.

මීට පෙරද ඇය අවස්ථා කිහිපයකදී හාම්පුතා සමඟ නිවසට පැමිණ තිබේ.

ඒ සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ අතර ආරවුලක් ඇතිවී සැමියා බිරිඳට සහ ඇය සමඟ පැමිණි කුවේට් ජාතිකයාට සහ රියදුරුට පහරදී නිවසට ගිනි තබා ඇත.

මේ වන විට, ඇය, කුවේට් ජාතිකයා සහ රියදුරු බිබිල මූලික රෝහලේ ප්‍රතිකාරලබමින් පසුවේ.

නිවසට ගිනිතැබීම නිසා නිවසේ අඩක් පමණ ගින්නෙන් විනාශවී එහි සිටි අවුරුදු 70 පමණ වයසැති අංශභාග රෝගයෙන් පෙළුණු සැමියාගේ පියා වන තිස්ස හෙට්ටිආරච්චි යන අය පිළිස්සුම් තුවාල ලබා බිබිල රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගිය අයගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය බිබිල වැඩබලන මහේස්ත්‍රාත් සරත් බණ්ඩාර මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් (01) වෙනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

සැමියා විසින් නිවසට ගිනිතැබුවේද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

කුවේට් ජාතිකයාගෙන් ප්‍රශ්නකිරීම සඳහා භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබාගැනීමට නියමිතය.

බිබිල පොලිස් අධිකාරී එස්.පී.කේ ගාල්ලගේ මහතාගේ උපදෙස් පිට බිබිල පොලීසිය පරීක්ෂණ පවත්වයි.