පාර්ලිමේන්තුවේ නව වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න වැඩ භාරගනී

පාර්ලිමේන්තුවේ නව වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න වැඩ භාරගනී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා වේත්‍රධාරී ධුරයේ රාජකාරි ආරම්භ කිරීම අද (31) පෙරවරුවේ සිදු විය.

පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී ලෙස රාජකාරි ඉටු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ විශ්‍රාම යෑම ඊයේ (30) දින සිදු වූ අතර මේ අනුව පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා වැඩ භාර ගැනීම සිදු විය.

විශ්‍රාම ගිය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් නව වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම ඊයේ (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදු කෙරිණි.

කුෂාන් සම්පත් ජයරත්න මහතා 1994 වර්ශයේ සිට 2007 වර්ෂය දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාන්විත රාජකාරි කොට තිබේ. විශේෂයෙන්ම වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයට අනුයුක්තව ක්‍රියාන්විත රාජකරියේ වැඩිම සේවා කාලයක් ගත කොට තිබේ. පසුව 2007 වර්ෂයේදී ඒ මහතා සහකාර වේත්‍රධාරී වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක් වී ඇති අතර අනතුරුව 2018 වර්ෂයේදී නියෝජ්‍ය වේත්‍රධාරී ධුරයට පත් වී තිබේ. මේ අනුව ඊයේ (30) දක්වාම හෙතෙම එම ධුරයේ රාජකාරි ආවරණය කළේය.

කුෂාන් සම්පත් ජයරත්න මහතා හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් සහ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසැලෙන් ප්‍රාථමික අධ්‍යාපනය නිම කොට ඇති අතර සිය ද්විතීක අධ්‍යාපනය කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හදාරා තිබේ. ජයරත්න මහතා කළමනාකරණය සම්බන්ධයෙන් සිය පළමු උපාධිය (විද්‍යාවේදී, ගෞරව) ජෙනරල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 12 වැනි බඳවැගැනීමේ දක්ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස සම්මාන ලබාගෙන තිබේ. එසේම ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් හදාරා ඇත. විශේෂයෙන්ම ජයරත්න මහතා මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය අවසන් කොට ඇත්තේ එම කණ්ඩායමේ හොඳම ශිෂ්‍යයා ලෙසිනි.

එසේම ඒ මහතා පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් සහ රාජ්‍යතාන්ත්‍රික සහ ගෝලීය කටයුතු සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික පුහුණු ආයතනයෙන් ඩිප්ලෝමාවන් හදාරා තිබේ. තවද බංගලාදේශයේදී උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාවද ජයරත්න මහතා විසින් හදාරා ඇත.

මීට අමතරව කුෂාන් ජයරත්න මහතා රග්බි සහ ක්‍රිකට් යන ක්‍රීඩා අංශ වලින්ද දස්කම් දක්වා තිබේ.

පෙර පාසැල් ගුරුවරියක් වන ඩිරෝෂි බියන්විල මහත්මිය සමග විවාහ වී සිටින ජයරත්න මහතා පුත්‍රයෙකුගේ සහ දියණියකගේ ආදරණීය පියෙකි.