කුරුවිට – පුස්සැල්ල ප්‍රදේශයේ දී දරුණු බස් රථ අනතුරක් – 20 ක් රෝහලට

කුරුවිට – පුස්සැල්ල ප්‍රදේශයේ දී දරුණු බස් රථ අනතුරක් – 20 ක් රෝහලට

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරුවිට, පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී බස් රථයක් තවත් බස් රථයක සහ වෑන් රථයක ගැටී අද (26) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.

අද පෙරවරු 10.00ට පමණ සිදුවූ මෙම අනතුරින් මාර්ගයේ ගමන් ගත් ගැබිණි මවක් ඇතුළුව පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරුවන් අතරින් ගැබිනි මව ඇතුලු පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද රෝහල් ප්‍රකාශයෙක් සඳහන් කළේය.

කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් පසෙක නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරත් සමග සුඛෝපභෝගී බස් රථය ඉදිරියට තල්ලුවී ගොස් නවතා තිබූ යතුරුපැදියක හා වෑන් රථයකද ගැටී තිබුණි.

රැකියා ලක්‍ෂයේ සේවකයින් පිරිසක් රැගෙන ආ සුඛෝපභෝගී බස් රථය ඔවුන් බස්රථයෙන් බැස පුස්සැල්ල ග්‍රාම සංවර්ධන මධ්‍යස්ථානයට ගිය පසු පාර අයිනේ රත්නපුර දෙසට මුහුණ ලා නවතා තිබී ඇත.

අනතුර සිදුකළ බස්රථයේ රියදුරු කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබයි.