කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් සැමියා අතින් ඝාතනයට ලක්වෙයි

කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් සැමියා අතින් ඝාතනයට ලක්වෙයි

කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් සිටියදී ඝාතනයට ලක්වූ දෙදරු මවකගේ මළසිරුරක් ඊයේ (19) පස්වරුවේ ලුණුගල කුඹුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ, ලුණුගල ජනතාපුර තුබහිටියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණසූරියගේ සුමිත්‍රා දමයන්ති නැමති 36 හැවිරිදි දෙදරු මවක් බවයි, පොලීසිය පැවසුවේ.

ඇය ඊයේ (19) සවස සිය 12 හැවිරිදි පුතා සමග නිවස අසල පහලින් පිහිටි කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් ඇති අතර දරුවාව දිය නෑවීමෙන් අනතුරුව ඔහුව නිවස වෙත පිටත්කර යවා තිබේ.

ඉන් මද වේලාවකින් මව කෑ ගසන හඬ ඇසී 17 හැවිරිදි දියණිය එම ස්ථානයට යන අවස්ථාවේදී මව හිසේ ලේ ගලන තුවාල සහිතව දිය නාමින් සිටි ස්ථානයේ වැටී සිටිනු දැක ඇතැයි පොලිසිය පැවසිය.

අදාල සිදුවීම සිදුවූ අවස්ථාවේදී දැරිය විසින් ඇයගේ පියා එම ස්ථානයේ සිට දුව යනු දැක ඇති බව පොලිසිය සමග ප්‍රකාශ කර තිබේ.

ඇයගේ මුහුණට, හිසට, නළලට බරපතළ තුවාල සිදු ව තිබූ බවත් මුඛයේ දත් කීපයක් කැඩි ගොස් තිබූ බවත් පොලිසිය සදහන් කළේය.

මෙම කාන්තාව සහ ඇයගේ සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුලක් තිබී ඇති බවත්, අවස්ථා කීපයකදී එම ආරවුල සම්බන්ධයෙන් පොලිසියටද පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

කාන්තාවගේ ඝාතනයෙන් අනතුරුව රියදුරෙකු ලෙස රැකියාව කරන ඇයගේ සැමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

පස්සර මහේස්ත්‍රාත් උදිත් සම්පත් ගුණතිලක මහතා ඊයේ (19) මෙම සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කරමින් මහේස්ත්‍රාත් පරික්ෂණය පැවත්වූහ.

මෙම මළසිරුර බදුල්ල ශික්ෂණ රෝහලට යවා එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අධිකරණයට කරුණු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් උදිත් සම්පත් ගුණතිලක මහතා පොලිසිය ට නියෝග කළහ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, සැකකාර සැමියා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය පවසයි.