කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර අද සිට ඔන්ලයින් ක්‍රමයට

කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර අද සිට ඔන්ලයින් ක්‍රමයට

2024 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට ලබන 29 වැනිදා දක්වා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පැවසුවේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අදාළ ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (http://www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2)‍ වෙත පිවිස අයදුම්කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවය.

එසේම 29 වනදායින් පසුව එම සබැඳිය වසාදැමෙන බැවින් ඊට පසුව කිසිදු ආකාරයකින් අයදුම්කරුවෙකුට තොරතුරු ලබාදිය නොහැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

නිෂ්පාදන, ධීවර, නැව් කර්මාන්තය, ඉදකිරීම්, යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ සේවා 1 සහ සේවා 2 යටතේ අයදුම් කළ යුතු වෙයි.

විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් පහතින්,

වයස අවුරුදු 18 – 39 අතර අයකු වීම ( 1984 පෙබරවාරි 27 සිට 2006 පෙබරවාරි 26 දක්වා උපන් අයයකුවීම,

උසාවියකින් වරදකරුවකු වී දඩ මුදල් ගෙවීමක් හෝ සිරදඩුවම් නොලැබුණු අයයකු විය යුතුය. එසේම කොරියානු ජනරජ‍යෙන් ආපසු හරවා එවු හෝ නෙරපා හැරි අයකු නොවීම,

ඊ-9 හෝ ඊ-10 යන වීසා කාණ්ඩ යටතේ වසර 05ක් හෝ ඊට වැඩි කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති අයකු විය යුතුවේ.

විභාග ප්‍රවේශපත්‍රය සම්පූර්ණ කිරීමට ප්‍රථම සෑම අයදුම්කරුවෙකුම, ඉදිරියට අවම මාස 03 ක වලංගු කාලයක් සහිත තම ගමන් බලපත්‍රයේ ඡායාරූපය සහිත පිටුව ස්කෑන් කර (1MB විය යුතුය) ගෙන සිටිය යුතු වන අතර මාස 03ක් ඇතුළත ලබාගත් 3.5 cm * 4.5 cm ප්‍රමාණය සුදු පැහැති පසුබිම සහිත පැහැදිළි ස්කෑන් කරන ලද වර්ණ ඡායාරූපයක් (JPG විය යුතුය) සූදානම් කරගෙන සිටිය යුතුවෙයි.

විභාග ප්‍රවේශ ගාස්තුව – ඇමරිකානු ඩොලර් 28 ට සමාන මුදල (රු 8,887/- ) ජාතික ඉතිරිකිරිමේ බැංකුව, ලංකා බැංකුව, හෝ මහජන බැංකුවට ගෙවා අදාළ රිසිට්පත අයදුම්පත්‍රය සමග උඩුගත කිරිම අනිවාර්ය බවද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනය පහතින්