දකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියුංග් පිහි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බූසාන් නගරයේ ඉදිවන ගුවන්තොටුපොළක වැඩ කටයුතු නිරීක්ෂණයට ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවක් අතරතුරදී ඔහු පිහි ප්‍රහාරයට ලක්ව ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

පිහි ප්‍රහාරය එල්ල වී ඇත්තේ, 59 හැවිරිදි ලී ජේ මියුංග් ගේ බෙල්ලටය.

මාධ්‍යවේදීන් පිරිසක් ද ඔහු වට කරගෙන සිට ඇති අතර හිටිහැටියේ පිරිස අතර සිටි පුද්ගලයෙක් විපක්ෂ නායකයාගේ බෙල්ලට පිහි ප්‍රහාරය එල්ල කර තිබේ. පසුව විපක්ෂ නායකවරයාගේ ආධාරකරුවන් වහා එම තැනැත්තා අල්ලා බිම පෙරළා තිබේ.

විරෝධය දැක්වීමක් ලෙස පිහි ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි අනුමාන කෙරෙන අතර ප්‍රහාරය සිදුකළ වයස අවුරුදු 50ත් 60ත් අතර පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණි.

ඔහු අත්සනක් ලබාගැනීමේ මුවාවෙන් විපක්ෂ නායකවරයා වෙත පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

Share This