ප්‍රදේශ කිහිපයක සරුංගල් යැවීම තහනම්

ප්‍රදේශ කිහිපයක සරුංගල් යැවීම තහනම්

ගුවන් යානාවලට අනතුරු වියහැකි බැවින් රත්මලාන, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට ජංගම රථ යොදවා ඇති බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය පවසයි.

THE CEYLON AIR NAVIGATION REGULATIONS, 1955 ගුවන් සංචරණ රෙගුලාසි 1955 පනතේ 248 වගන්තියට අනුව සරුංගලයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් ගුවන්ගත කරන්නේ නම් ඒ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලිඛිත අනුමැතියක් තිබිය යුතු වේ.

ගුවන් යානා නීතියට අනුව ගුවන් තොටුපොළක සිට කිලෝමීටර පහක් ඇතුළත ප්‍රදේශයේ අඩි 300 ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පාකිරීම තහනම් බවත් සරුංගල් යැවීමට භාවිතා කරන ඝන තංගුස් නූල ගුවන් යානාවලට තර්ජනයක් බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

ගුවන් යානාවල ආරක්ෂාවට මෙම නීති රෙගුලාසි පනවා ඇති අතර මේ අගෝස්තු මාසය සරුංගල් මාසය වන බැවින් මේ දිනවල සරුංගල් සඳහා කඹ වැනි නූල් වර්ග භාවිත කිරීම ගුවන් යානාවලට ඇති කරන්නේ දැඩි අනතුරුදායක තත්ත්වයකි.

ගුවන් තොටුපොළ පාලනාධිකාරිය විසින් ප්‍රදේශ රැසක ජංගම ශබ්ද විකාශන රථ යොදවා සිදු විය හැකි අනතුර ගැන නිරතුරුව දැනුම්වත් කිරීම් සිදු කළ ද සරුංගල් යැවීම නිතර සිදු කරන බව ඔවුන් පවසයි.

මේ දැනුම්දීම ළමා සහ තරුණ පිරිසගේ විනෝදාස්වාදයක් වන සරුංගල් යැවීමට කිසිසේත්ම එරෙහි වීමක් නොවන බවත්, ගුවන් මගීන්ගේ ජීවිත පිළිබඳව පවතින අවදානම ගැන සිතා ගත් තීරණයක් බව එම පාලනාධිකාරිය වැඩිදුරටත් පවසයි.