කෙහෙළිය සහ සනත් නිශාන්ත ඇමැති නිල නිවාස තවමත් බාරදී නෑ

කෙහෙළිය සහ සනත් නිශාන්ත ඇමැති නිල නිවාස තවමත් බාරදී නෑ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස පාවිච්චි කළ කොළඹ නිල නිවාස දෙක තවදුරටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට පාවිච්චි කිරීමට රජය අවසර දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මේ අනුව එම දෙදෙනාගේ පවුල්වල සාමාජිකයෝ ඒ නිල නිවාසවල තවමත් රැඳී සිටිති.

බාල බෙහෙත් චෝදනා සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය පෙබරවාරි මාසයේ සිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටී.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් මරුමුවට පත්වූයේ පසුගිය ජනවාරි 25 වැනිදාය.

මේ අතර හිටපු ඇමතිවරුන් පහකට ආසන්න පිරිසක් තවමත් අමාත්‍ය නිල නිවාසවල රැඳී සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

එසේම හිටපු විපක්ෂ නායක අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතා පාවිච්චි කළ කොළඹ 7 මහගමසේකර මාවතේ බී 12 නිල නිවෙස ඔහු මියගොස් මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් රජයට බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවැසේ.

සම්පන්දන් මහතා විපක්ෂ නායකවරයා ලෙස සිටියදී ඔහුට ලබා දී තිබූ මෙම නිල නිවෙස ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා ලෙස සිටිනතාක් පාවිච්චි කිරීමට 2019 වර්ෂයේදී එවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේය.

ඒ අනුව, ඔහුට මිය යනතුරුම එම නිල නිවෙසේ ජීවත්වීමට අවස්ථාව සැලසිණ.

සම්පන්දන් මහතා පාවිච්චි කළ මෙම නිල නිවෙස නැවත ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයට පසුගිය දා සිහි කැඳවීමක් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

කොළඹ හතේ අක්කර එක හමාරක පමණ භූමි භාගයක මෙම නිල නිවෙස පිහිටා ඇත.

එහි නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවකු, උද්‍යානකරුවන් දෙදෙනකු, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනකු වශයෙන් සේවකයෝ පස් දෙනෙක් යොදවනු ලැබ සිටිති.