තෙල්දෙණිය සුපිරි වාහන කොල්ලයේ තවත් තොරතුරු එලියට

තෙල්දෙණිය සුපිරි වාහන කොල්ලයේ තවත් තොරතුරු එලියට

දිගන පිහිටි ව්‍යාපාරික ස්ථානයක් තුළදී වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් ‘දිගන මංගල‘ නමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට අයත් තෙල්දෙණිය කෙංගල්ලේ පිහිටි වාහන අලෙවි ස්ථානයකට පෙරේදා (29) අලුයම කඩාවැදී, එහි සිටි සේවකයන් දෙදෙනකු ගැටගසා රුපියල් කෝටි හත හමාරකට අධික වටිනාකමක් ඇති ඩිෆෙන්ඩර් රථ 3ක් සහ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රියක් කොල්ලකා ඇත්තේ ඒවායේ කොටස් ගලවා වෙනස් කර අලෙවි කිරීමේ අරමුණින් බව හෙළි වී තිබේ.

මේ කොල්ලය සැලසුම් කළ තෙල්දෙණිය සිරිමල්වත්ත ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවකු, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු සිව් දෙනකු ඊයේ (30) වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ කොල්ලකෑ වාහන 4ම සොයාගනිමිනි.

කොල්ලකෑ ඩිෆෙන්ඩර් රථ 2ක් සොයාගෙන ඇත්තේ වත්තේගම පොලිස් වසමේ පල්ලේගම දොරගමුවේ පිහිටි පළාත් සභා මන්ත්‍රීවරයාගේ පුතාගේ නිවෙස පිටුපස ඇති ගරාජයක සඟවා තිබියදීය. පොලිසිය ඒ ස්ථානය වටලා ඇත්තේ පෙරේදා (29) උදෑසන 8.30ට පමණය. ඒ වන විටත් ඩිෆෙන්ඩර් රථ දෙකේ කොටස් ගලවමින් ඒවාගේ හැඩය වෙනස් කරමින් තිබී ඇත. එසේ වාහනවල කොටස් ගලවමින් හැඩය වෙනස් කරමින් සිට ඇත්තේ මේ කොල්ලයේ සැලසුම්කරු සහ ඔහුගේ ගෝලයන් එක්වය. ඔහු ඩි‍ෆෙන්ඩර් අලුත්වැඩියාවම කරන අ‍යකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මන්ත්‍රීවරයාගේ පුතාගේ නිවෙස පිටුපස ගරාජයේ සැඟවූ එක් ඩිෆෙන්ඩරයක වහලය පවා කපා වෙනස් කිරීමකට ලක්ව තිබී ඇත.

මේ ඩිෆෙන්ඩර් දෙකින් එකක් රැගෙන ගොස් ඇත්තේ වෙනත් වාහනයකින් ඇදගෙන බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම වාහනයද පොලිස් භාරයට ගෙන ඇත. ඊට අමතරව තවත් ඩිෆෙන්ඩරයක් තිබී ඇත්තේ නිට්ටඹුව පොලිස් වසමේ වතුපිටිවල ප්‍රදේශයට රැගෙන ගොසිනි. ආපදා රථයක පටවාගෙන එය වතුපිටිවලට රැගෙන ගොස් තිබී ඇත. එම ආපදා රථය සමඟ එම ඩිෆෙන්ඩරයද සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත. මේ කොල්ලයේ සැලසුම්කරුගේ මිතුරකු විසින් එය රැගෙන ගොස් තිබී ඇත. ඔහුද ගරාජ්කරුවකු බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් අය අතර ඔහුද සිටින බව පොලිසිය කියයි. කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රිය හමු වී ඇත්තේ මහනුවර අරුප්පල වාගොල්ල ප්‍රදේශයේ අත්හැර දමාගොස් තිබියදීය. ඩිෆෙන්ඩර් 3 සමඟ මේ කොල්ලයේ මහමොළකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන්ගේ ගෝලයන් වෑන් රථය අත්හැර ගොස් ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ වත්තේගම හා තෙල්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවෝය. පොලිසිය පවසනුයේ තවත් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවයි.

මේ වාහන අංගණයේ හිමිකරු වන දිගන මංගල සියදිවි හානි කරගනු ලබන්නේ පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදාය. ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන මංගලගේ මරණයෙන් පසු ඔහුගේ ව්‍යාපාර බලාකියාගෙන ඇත්තේ බිරිය සහ වැඩිමහල් දියණිය බව පොලිසිය කියයි. මංගලට අයත් ව්‍යාපාර අතර පොලියට මුදල් දීම සහ වාහන හා ඉඩම් උකසට ගැනීම්ද තිබී ඇත. උකසට ගත් වාහන සහ සින්න වූ වාහන තිබී ඇත්තේ කෙංගල්ලේ පිහිටි වාහන අංගණයේය. සින්න වූ වාහන එම අංගණයේ තබා අලෙවි කිරීමේ ව්‍යාපාරයක්ද මංගල විසින් පවත්වාගෙන ගොස් ඇත. බිරිය සහ දියණිය විසින් මේ ව්‍යාපාරය පරිපාලනය කිරීමට ගැනීමෙන් පසු දන්නා කියන අයගේ වාහන උකසට ගත්තද නොදන්නා අයගේ වාහන හෝ දේපොළ උකසට නොගන්නා බවත්, ඉතා පරිස්සමට ඔවුන් ව්‍යාපාර කටයුතු කරගෙන යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ වාහන අංගණය පිහිටි භූමියේම නිවෙසක් ඇති බවත් මංගල ජීවත්ව සිටින කාලයේ සිටම ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ හඟුරන්කෙත පදිංචි තරුණයකුද, ලිපිකරුවකුද වාහන අංගණයේ මුරකරු සමඟ නවාතැන් ගෙන සිටින්නේ එම නිවෙසේ බවත් පොලිසිය කියයි. පෙරේදා (28) දහවල් 2.00ට පමණ මුරකරු නිවාඩු ලබා මාතලේ පිහිටි නිවෙස බලා ගොස් ඇති බවත් එදින රාත්‍රී කාලයේ වාහන අංගණයේ පිහිටි නිවෙසේ රැඳී සිට ඇත්තේ රියැදුරු සහ ලිපිකරු පමණක් බවත් පොලිසිය කියයි. මේ වාහන අංගණයේ හතර වටේම ඉබි යතුරු දමා ගේට්ටු වසා තැබෙන බැවින් පුරුද්දක් ලෙස නිවෙසේ ඉදිරිපස දොර අගුළු නොදාන බව සඳහන්ය. 29 වැනිදා අලුයම 1.00ට පමණ පිරිසක් එක්වරම අඩවල් කර තිබුණු දොරින් නිවෙසට කඩා වැදී නිඳා සිටි ලිපිකරු සහ රියැදුරුගේ දෑත් දෙපා ගැටගසා පහර දී කාමරයකට දමා දොරවල් වසා වාහන පැහැර ගැනීම සිදු කර ඇති බව පොලිසිය කියයි.

මෙසේ පැහැරගත් ඩිෆෙන්ඩර් 3න් 2ක්ම උකසට ගත් ඒවා බවත්, අනෙත් ඩිෆෙන්ඩරය මිල දී ගෙන තිබූවක් බවත් පොලිසිය කියයි. ඩි‍ෆෙන්ඩර් 2ක් මාවනැල්ලේ ව්‍යාපාරිකයකු විසින් මංගල ජීවතුන් අතර සිටියදී ඔහුට උකස් කර තිබී ඇති බවත් කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රිය හලාවත කෝවිලක පූසාරිවරයකු විසින් ලක්ෂ 100කට උකස් කර ඇති එකක් බවත් විමර්ශනයේදී පෙනී ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. උකසට තැබූ එම ඩිෆෙන්ඩර් දෙක මෙන්ම කේ.ඩී.එච්. වෑන් රියද ඒ වන විට තිබී ඇත්තේ සින්න වීය. එම වාහන 3 ම වාහන අංගණයේ තිබී ඇත්තේ අලෙවි කිරීමේ සූදානමිනි.

මේ කොල්ලය පොලිසියට වාර්තා වීමෙන් පසු පැය කිහිපයක් ඇතුළත කොල්කරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන කොල්ලකෑ වාහනද සොයාගැනීමට හැකි වී ඇත්තේ කොල්ලකරුවන් විසින් වාහනවලට අමතරව ලිපිකරු ගැටගසා ඔහු සතුව තිබුණු ජංගම දුරකතනයක් පැහැරගෙන ගොස් තිබීම හේතුවෙනි. එම ජංගම දුරකතනය පැහැරගන්නා විට එහි ස්ථානය හදුනා ගැනීමේ පහසුකම තිබී ඇත්තේ ක්‍රියාත්මක කරමිනි. ඒ බව එම තරුණයා පොලීසියට පවසා තිබේ. වාහන කොල්ලකෑ පුද්ගලයින් විසින් එම දුරකථනය ඒ වන විටත් අක්‍රිය කර තිබී ඇතත් එය අක්‍රිය කර ඇත්තේ වත්තේගම දොරගමුව ප්‍රදේශයේදී බව තාක්ෂණික මෙහෙයුමකින් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව දොරගමුව ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී මන්ත්‍රී පුතාගේ නිවෙස පිටුපස තබාගෙන කෑලි ගලවමින් තිබුණු ඩිෆෙන්ඩර් දෙක හමු වී ඇත.

කොල්ලය සැලසුම් කළ ගරාජ් හිමියා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තවත් පැය 4ක් පොලීසිය තමා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වී නම් ඩිෆෙන්ඩර් 3 හඳුනාගැනීමට නොහැකි තරමට වෙනස් කරන බවයි. එසේ වී නම් එම ඩිෆෙන්ඩර් 3 සොයාගන්න බැරි වන බවත්, පොලිසියට තමන් හසු නොවන බවත්ය. කොල්ලකරුවන් පිරිස ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට නොගත්තේ නම් කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති බවත් කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට ලිපිකරුගේ ජංගම දුරකතනය මහත් සහායක් වූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ කොල්ලකරුවන් මෙයට පෙරත් මෙවැනිම ආකාරයේ වාහන කොල්ලකෑම්වල නිරතව තිබේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බවත්, මේ කොල්ලයට සම්බන්ධ සෙසු සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බව විශ්වාස කරන බවත් පොලිසිය කියයි.

මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතාගේ අධීක්ෂණයෙන් තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී. පලිහවඩන සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රණවීර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ගයාන් කුමාර වීරසිංහ, අසේල කුරුළුවංශ

Share This